මානව හිමිකම් සුරැකීම සඳහා කල් අවශ්‍යයි - මහින්ද සමරසිංහ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 27 බදාදා - 17:23 GMT

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විසි දෙවැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීම පිලිබඳ කණගාටුව පළ කරන අමාත්‍ය මහින්ද සමරසිංහ එම යෝජනාව හඳුන්වා දුන්නේ මානව හිමිකම් මණ්ඩලයේ දෙබිඩි පිළිවෙතක් ලෙසින්.

සිවිල් යුද්ධය නිමවීමෙන් පසු කැරලිකරුවන් පුනරුත්ථාපනය කිරීම, යුධ අනාථයන් යළි පදිංචි කරවීම, ප්‍රතිසංස්කරණ කටයුතු සහ සංහිඳියාව ගොඩ නැගීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විශාල ප්‍රගතියක් ලබා තිබියදී මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට මෙය කාලය නොවන බව පවසන අමාත්‍ය මහින්ද සමරසිංහ, ඉදිරිපත් කර ඇති යෝජනාව අනවශ්‍ය සහ මානව හිමිකම් මණ්ඩලයේ මූලික සංකල්ප වලට පටහැනි එකක් බව අවධාරණය කළේය.

ඉඩම් ආපසු ලබාදීම සහ යලි පදිංචි කිරීම් සම්බන්ධයෙන් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම කළ නිර්දේශ අනුව යමින් ඉඩම් කොමිසමක් පිහිටුවීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කරන ඔහු මේ වන විට කිසිදු අධි ආරක්‍ෂිත කලාපයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නොවන බවත් පැවසීය.

පලාලි ගුවන් හමුදා කඳවුර අවට කලාපය තුළ පමණක් යම් යම් ආරක්ෂක සීමාවන් පනවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ වසරේ ජනවාරි 15 වනදා වනවිට ළමා සොල්දාදුවන් 594 ක් ඇතුළුව පුද්ගලයන් 11456 ක් පුනරුත්ථාපනය කර යළි සමාජයට එක් කර ඇතැයිද ඇමතිවරයා යළිත් වරක් මානව හිමිකම් මණ්ඩලය හමුවේ සිහිපත් කළේය.

'යුද අපරාධ'

සියලු ළමා සොල්දාදුවන් වැරදි කරුවන් ලෙස නොව, අවාසනාවන්ත ලෙස අර්බුදයේ කොටස් කරුවන් බවට පත් වූ පුද්ගලයන් ලෙස දකින ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ සුභ සාධනය සහ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සියලු උත්සාහයන් දරා ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

පුනරුත්ථාපන වැඩපිළිවෙල හිටපු කොටි කැරළිකරුවන් සහ කොටි හිතවාදීන් යළි සමාජ ගත කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වූ බව මානව හිමිකම් මණ්ඩලය හමුවේ කියා සිටි අමාත්‍යවරයා, නඩු පැවරීමට තරම් කරුණු ඇතත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කිරීමට ශ්‍රීලංකා රජය කටයුතු කළ බවයි පවසන්නේ.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය එල්ල කරන යුධ අපරාද චෝදනා ඇතුළු මානව හිමිකම් කඩවීම් පිලිබඳ සොයා බැලීමට හමුදා පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ බව සඳහන් කල අමාත්‍යවරයා එම කමිටුව තම ප්‍රථම අදියරේ වාර්තාව මේ වන විටත් හමුදාපතිවරයා වෙත ලබාදී ඇතැයිද ප්‍රකාශ කළේය.

එම කමිටුවේ දෙවන අදියර චැනල් 4 රූපවාහිනිය එල්ල කරන චෝදනා වල පදනම් සහගත භාවය නොතකා විමසා බලන බව පවසන ඔහු ත්‍රිකුණාමලයේ සිදුවූ ශිෂ්‍යයන් පස්දෙනාගේ සහ මුත්තූර්හි හි සහන සේවකයන් දාහත් දෙනාගේ ඝාතන පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ප්‍රකාශ කළේය.

මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඇතුළු උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ ඇතැම් නිර්දේශ මේ වන විටත් ක්‍රියාත්මක කර ඇතැයි සමුළුවට කියා සිටින අමාත්‍ය මහින්ද සමරසිංහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම විකාශ වෙමින් පවත්නා වැඩපිළිවෙලක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී සහ අසාධාරණ නිවේදන, බාහිර සේ ඔහු විසින් නම් කල පාර්ශව විසින් නිකුත් කොට ඇතැයි චෝදනා කරන අමාත්‍යවරයා, මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දඬුවම් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කිරීම ශ්‍රි ලංකාවේ පුනරුත්ථාපන සහ සංහිඳියා වැඩපිළිවෙල නොසලකා කටයුතු කිරීමක් බව ද පවසයි.

එබැවින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට ශ්‍රීලංකාව තම විරුද්ධත්වය ප්‍රකාශ කරන බව අවධාරණය කරන ඔහු එම යෝජනාව අනුමත කළහොත් එමගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය අනුගමනය කරන පිළිවෙත දෙබිඩි එකකැයි පිළිබිඹු වන බවද ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරියට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී තොරතුරු සොයා බලන ලෙසට 2011 වසරේ ආරාධනා කළ බව පැවසූ මහින්ද සමරසිංහ ඇමති වරයා ඒ අනුව 2012 වසරේ තොරතුරු නිරීක්ෂණ කණ්ඩායමක් කොමසාරිස්වරියගේ සංචාරයට පෙර පැමිණි නමුත් සැබවින්ම සිදුවී ඇත්තේ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා වට තොරතුරු රැස් කිරීම බව පැහැදිලිවන්නේයැයි අමාත්‍ය සමරසිංහ පවසයි.

මානව හිමිකම් කොමසරිස්වරිය ශ්‍රී ලංකාවේ සංචාරය කර තොරතුරු සොයා බලා වාර්තා කල යුතු යයි ශ්‍රී ලංකාව අවධාරණය කර කියා සිටින බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ පවසන්නේ.

නමුත් ඇය විටින් විට විසින් විවිධ කොන්දේසි පැනවීම සහ මානව හිමිකම් ඉලක්ක වෙනස් කිරීම නිසා ඇගේ අරමුණු සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් මතුව ඇතැයිද සඳහන් කළේය.

මානව හිමිකම් සුරකීමේ කටයුතු සහ යුද්ධයෙන් පසු සිදුකෙරෙන පුනරුත්තාපන ප්‍රතිසංස්කරණ සහ සංහිදිය වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවට තවත් කාලය අවශ්‍ය බවද ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී අමාත්‍ය සමරසිංහමානව හිමිකම් මණ්ඩලය හමුවේ කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.