පාප් වහන්සේගේ ඉල්ලා අස්වීම 'ප්‍රගතිශීලී පියවරක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 27 බදාදා - 17:39 GMT

පෙබරවාරි බ්‍රහස්පතින්දා පදවියෙන් සමුගන්නා ශුද්ධෝත්තම බෙනඩික් පාප්වහන්සේ, පාප්වරයා හැටියට මහජනතාව ඉදිරියේ අවසන්වරට පෙනී සිටීම අද සිදුවිය. උන්වහන්සේගේ අන්තිම ආශීර්වාදය ශ්‍රවනය කිරීම දහස් සංඛ්‍යාත ජනකායක්, රෝමයේ, ශාන්ත පීතර චතුරශ්‍රයට අද එක් රැස්ව සිටියහ.

එම බැතිමත්හු ධජ පතාක ලෙලවමින්, පාප් වහන්සේ වෙනුවෙන් ඔවුන්ගේ බැතිය පළ කළහ.

බැතිමතුන් අමතා කතා කළ බෙනඩික් පාප්වහන්සේ, තම තීරණයේ බරපතලභාවය ගැන පුර්ණ අවබෝධයක් සහිතව පදවියෙන් ඉවත්වීමට තීන්දු කරන ලද බවයි කියා සිටියේ. එහෙත් දෙවියන් වහන්සේ සහ කතෝලික සභාව සම්බන්ධයෙන් පවතින භක්තිය හා විස්වාසය හේතුවෙන් තම සිත නිවුන බවයි උන් වහන්සේ පවසන්නේ.

පාප් තුමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්

ශාන්ත පීතර චතුරශ්‍රයට ගොනුව සිටි බැතිමතුන්ගේ අත්පොලොසන් නැගීම් නිසා, පාප් වහන්සේට අවස්ථා කීපයක්ම සිය අදහස් දැක්වීම නතර කිරීමටත් සිදුවිය.

පසුගිය මාස කීපය තුළ තම ශක්තියේ හීනවීමක් දැනුන බව ප්‍රකාශ කරමින් පාප්වහන්සේ කියා සිටියේ, එවැනි තත්වයක් යටතේ ගත යුතුව ඇති හොඳම තීරණය ගැනීමට උදව් වනමෙන් දෙවියන්ගෙන් විමසූ බවයි.

ඩබ්ලින් විශ්වවිද්‍යාලයේ විශ්ව සාමයික සමගිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු

"මෙම පාප් වහන්සේගේ සුවිශේෂී ලක්ෂණය තමයි, ඔහුගේ දේව ධර්මයේ තිබු පසුගාමී ස්වරූපයයි"

තම අනුප්‍රාප්තික පාප් ආශීර්වාද කරන බවත් බෙනඩික් පාප් වහන්සේ තම අන්තිම අනුශාසනාවේදී සඳහන් කළහ.

පාප් ධුරයෙන් විශ්‍රාම ගැනීමට බෙනඩික් පාප් වහන්සේ ගත් තීරණය ප්‍රගතිශීලී පියවරක් බවයි බොහෝ විචාරකයෝ පවසන්නේ.

මේ සම්බන්ධයෙන් බී බී සී සංදේශයට අදහස් දැක්වූ ඩබ්ලින් විශ්වවිද්‍යාලයේ විශ්ව සාමයික සමගිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු, "මේ තීරණය විසින් පාප් ධුරයට දී තිබු දිව්‍යමය ස්වභාවය ගැලවී, පාප් තුමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් තැනට පත් වෙනවා" යයි කියා සිටියි.

පුරප්පාඩු වෙන පාප් පදවියට අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කරගනු ලැබීම ඉදිරි සති කිහිපය තුළ සිදුකිරීමට නියමිතයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.