දෙමළ අනාථයන් 'ශ්‍රී ලංකාවට ආපසු යවනු එපා'

Image caption නිවේදිකා රතිමෝහන් ලෝහිනී

දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාව බලා යමින් සිටි යාත්‍රාව අබලන් වී ඩුබායි වෙත ගෙන එන ලදුව දැනට එහි සිරවී සිටින දෙමළ අනාථයන් පිරිසක් ආපසු ශ්‍රී ලංකාවට නොයවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය (UNHCR) විසින් දේශපාලන රැකවරණ ලබා දීමට සුදුසු ලෙස පිළිගෙන තිබෙන මේ පිරිස ආපසු යවනු ලැබුවහොත් වධ හිංසාවට හා දණ්ඩනයට ලක්වනු ඇති බවයි හ්‍යුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පවසන්නේ.

එක්සත් අරාබි එමීර් බලධාරීන් මෙම අනාථයන් 19 දෙනාට දැනුම් දී ඇත්තේ අප්‍රේල් 11 වැනිදාට පෙර රටින් පිටවන ලෙසයි.

ඔවුන් අතර සිටි එල්ටීටීඊ පාලිත දමිළ ඊලාම් ජාතික රූපවාහිනී (NTT) නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකා රතිමෝහන් ලෝහිනී සංදේශය හා දුරකතනයෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවට ගියහොත් තමනට අත්වන ඉරණම මහත් බියජනක බවයි.

ධීවර බෝට්ටුවක නැගී තවත් පුද්ගලයන් හතළිස් හය දෙනෙකු සමග ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ අවස්ථාවේ අබලන් වී මුහුද මැද අතරමං වූ බෝට්ටුවේ ඇය ඇතුළු පිරිස සිංගප්පුරු නැවක් මගිනුයි ඩුබායි වෙත ගෙන එනු ලැබුනේ.

එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය ඔවුන් දැන් රඳවා ඇත්තේ ඩුබායි නුවරට දකුණු දිගින් පිහිටි ජෙබෙල් අලි වරාය බද නගරයේ.

වසර දෙකක කාලයක් දෙමළ ඊළාම් රූපවාහිනීයේ සේවය කළ හරිනි හෙවත් ලෝහිනී රතිමෝහන් කියා සිටියේ තමා සමග සේවය කළ බොහෝ දෙනකු යුද සමයේ දී ශ්‍රී ලංකා හමුදා අතින් මරණයට පත් වූ බවයි. තම සහෝදර නිවේදිකා ඉසෙයි ප්‍රියාට අත්වූ ඉරණම පිළිබඳ 'සැවොම දන්නා' බව කියා සිටින ඇය යළි ශ්‍රී ලංකාවට ගියහොත් ජීවිතයට අනතුරක් වේයයි බිය පළ කළාය.

Image caption එල්ටීටීඊ ප්‍රකාශක ඉලන්තිරයන්

තමා සමග ධීවර යාත්‍රාවේ සිටි පිරිස අතර කොටි සංවිධානයේ හිටපු හමුදා ප්‍රකාශක රාසයියා ඉලන්තිරයන්ගේ බිරිඳ වනිතා ඉලන්තරියන් සහ දරුවන් දෙදෙනාද සිටි බව බීබීසී සංදේශයට කියා සිටි ඇය එම පිරිසට ස්වීඩනයේ දේශපාලන රැකවරණ හිමි වූ බවයි පැවසුවේ.

සිවිල් යුද්ධයේ අවසාන වකවානුවේදී කොටි හමුදා ප්‍රකාශක රාසයියා ඉලන්තිරයන් හමුදාවට භාරවීමෙන් පසු ඔහු ගැන කිසිඳු තොරතුරක් නොලැබුනේයැයි ඔහුගේ බිරිඳ තමන් සමග පැවසූ බවද ලෝහිනී රතිමෝහන් බීබීසී යට ප්‍රකාශ කළාය.

මේ අතර පසුගිය අප්‍රේල් හතරවෙනිදා පුවත් ප්‍රකාශයේදී ස්වාධීන රූපවාහිනිය (ITN) කියා සිටියේ හරිනි හෙවත් ලෝහිනී රතිමෝහන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් මතබේදයට තුඩු දී තිබෙන දෙමළ ඊළාම් රූපවාහිනීයේ සේවය කළ නිවේදිකා වන ඉසෙයි ප්‍රියාගේ ඝාතනය සිදුවූ අන්දම පිළිබඳ තොරතුරු සොයාගැනීමට ඇගෙන් 'කරුණු විමසිය හැකි' බව.

Image caption රාසයියා ඉලන්තිරයන්ගේ බිරිඳ වනිතා ඉලන්තරියන්

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය 2010 දී විකාශය කළ වාර්තාවකින් චෝදනා කැරුණේ ඉසෙයි ප්‍රියා යුද හමුදා අත් අඩංගුවේ දී ඝාතනය කරුණු බවයි.

අත් අඩංගුවට පත් එල්ටීටීඊ නායකයන් ඇතුළු දෙමළ වැසියන් මරා දැමු බවටත්, දේශපාලන රැකවරණ නොදී ශ්‍රී ලංකාවට ආපසු එවනු ලබන යුද අනාථයන් වැඩ බන්ධනයට පමුණුවන බවටත් එල්ලවන චෝදනා රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කොට තිබේ.

දේශපාලන රැකවරණ පතන දෙමළ යුද අනාථයන් ලෙස හදුනාගත් පිරිසක් යළි ශ්‍රී ලංකාවට පිටමන් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කළහොත් එමගින් යුධ අනාථයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් මුලධර්ම සහ මානව හිමිකම් නීතිද උල්ලංඝනය කෙරෙන බව හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානයේ බිල් ෆ්රෙලික් අවධාරණය කරයි.

මේ නිසා මෙම පිරිස ශ්‍රී ලංකාව වෙත යැවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු නොකළ යුතු බවයි හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ.