මරණ දඬුවමට එරෙහි ඉන්දීය සිරකරුගේ අභියාචනය ඉවතට

Hanging
Image caption අවුරුදු අටක විරාමයකින් අනතුරුව පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ පටන් ඉන්දියාවේ මරණ දඬුවම යළි ක්‍රියාවට නැංවීම ආරම්භ කෙරිණ

මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ සිටි සිරකරුවෙක් තම දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක් බවට වෙනස් කරන මෙන් කර තිබුන ඉල්ලීමක් ඉන්දියාවේ ශ්‍රේෂ්ටාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

දේවේන්ද්‍ර පාල් සිංග් භුලාර් නම් සිරකරු මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ සිටින්නේ මෙයින් අවුරුදු විස්සකට පෙර දිල්ලි නගරයේදී එල්ල කෙරුන බස් බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන්.

එම බෝම්බ ප්‍රහාරයේදී මගීන් නවදෙනකු මරණයට පත්විය.

තම සේවාදායකයාට එරෙහි මරණ දඬුවම ක්‍රියාවට නැංවීම ප්‍රමාද කිරීම හේතුයුක්ත නොවන බවට සිරකරුවාගේ නීතිවේදීහු තර්ක කරති.

මරණ දඬුවමට යටත් කරනු ලැබුන සිරකරුවන් දාහත් දෙනෙක් ඉන්දියානු සිරගෙවල් තුළ රඳවා සිටින අතර, සමාවක් පිරිනමන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ආයාචනා දැනටමත් ප්‍රතික්ෂේප කොට තිබේ.

මෑතක් වනතෙක් ඉන්දියාවේ වැරදිකරුවන් එල්ලා මරනු ලැබීම ඉතාම කලාතුරකින් සිදු කෙරුණත් අවුරුදු අටක විරාමයකින් අනතුරුව පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ පටන් එය යළි ක්‍රියාවට නැංවීම ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකාවේද 1977 සිට මරණ දඬුවම ක්‍රියාත්මක නොවන නමුත්, ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර වැනි වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම පැනවිය යුතු බවට ලාංකීය සමාජය තුල විවාදයක්ද පවතී.