උතුරු කොරියාව ගැන මැදිහත් වන්න - ඇමෙරිකාව චීනයෙන් ඉල්ලයි

John Kerry in Seoul
Image caption අසල්වැසි උතුරු කොරියාව පාලනය කර ගැනීම අතින් චීනයට විශාල ශක්තියක් ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි

උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතකු ලෙසින් පිළිනොගන්නා බව පවසන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, සිය කොමියුනිස්ට්වාදී සගයා සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි චීනයෙන් ඉල්ලා සිටියේය.

දකුණු කොරියාවේ සෝල් අගනුවර සංචාරයක නිරත වෙමින් කරුණු දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, උතුරු කොරියාව විසින් එල්ල කරනු ලබන තර්ජන අනුමත කළ නොහැකි බව ද ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, උතුරු කොරියාව විසින් එල්ල කරනු ඇතැයි පැවසෙන මිසයිල ප්‍රහාරයක තර්ජනය මගින් දැනටමත් අනතුරුදායක වාතාවරණයක් නිර්මාණය කොට ඇති බවත් කියා සිටියේය.

හදිසි තත්වයකට පෙර සූදානමක්

තම අසල්වැසි උතුරු කොරියාව පාලනය කර ගැනීම අතින් චීනයට විශාල ශක්තියක් ඇතැයි කියා සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩ පිළිවෙල නතර කිරීමට චීනයට අවශ්‍ය වේනම් චීන පිළිවෙතේ දැඩි බවක් ඇති විය යුතුව ඇතැයි ද සඳහන් කළේය.

මේ අතර චීනය, උතුරු කොරියානු දේශසීමාවේ පිහිටි නගරයකදී හදිසි තත්වයකට මුහුණ දීමේ පෙර සූදානමක් අත්හදා බැලුවේය.

"හුන්චුන්" (Hunchun) නගරයේ ජනතාව උමං බංකරවල රැඳී සිටියදී,පොලිසිය සහ වෛද්‍ය කණ්ඩායම් වීදිවල සැරිසරමින් සිටි බවයි, චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

චීන ප්‍රකාශකයෙක් ඉහත කී වැඩ සටහණ විස්තර කළේ, හදිසි විනාශකාරී තත්වයක් යටතේ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරුණ අත්හදා බැලීමක් හැටියටයි.

එය ක්‍රියාවට නැංවුන "හුන්චුන්" (Hunchun) නගරය පිහිටා තිබෙන්නේ, චීන - උතුරු කොරියානු දේශසීමාවේ "තුමෙන්" (Tumen) ගඟට කිලෝමීටර් කීපයක් ඔබ්බෙන්. උතුරු කොරියානු අනාථයන් චීනයට ඇතුල් වීමට උපයෝගී කරගන්නේ, "තුමෙන්" ගංගාවයි.

කොරියානු අර්ධද්වීපයේ ගැටුම්කාරී තත්වය උත්සන්න වෙමින් පවතින අතරවාරයේ, චීනය සිය දේශසීමාවෙහි යුද හමුදා තර කරමින් සිටින බවට දේශීය සහ විදේශීය මාධ්‍ය මගින් පළකෙරුණ වාර්තා බේජිං බලධාරීන් විසින් බැහැරකරනු ලැබයි තිබුනේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර