ඉන්දීය සිනමා ගායක ශ්‍රීනිවාස් දිවියෙන් සමුගනියි

Dr PB Sreenivas
Image caption භාෂා අටක් මනාව හැසිරවීමේ දක්ෂයකු වූ ගායක ශ්‍රී නිවාස් තෙලිඟු භාෂාවෙන් ගසල් කිහිපයක රචකයා ද විය

ඉන්දීය සිනමාවේ ප්‍රවීණ පසුබිම් ගායකයකු වූ ආචාර්ය පී බී ශ්‍රී නිවාස් දිවියෙන් සමුගත්තේය.

තෙලිඟු, කන්නඩ, දෙමළ, මලයාලම් සහ හින්දි සිනමාවේ ජනප්‍රිය පසුබිම් ගායකයකු වූ ඔහු, භාෂා අටක් මනාව හැසිරවීමේ දක්ෂයකු වූ අතර තෙලිඟු භාෂාවෙන් පබැඳුනු ගසල් කිහිපයක රචකයා ද විය.

1952 දී ජෙමිනි කාන්ත් ගේ "මිස්ටර් සම්පත්" චිත්‍රපටයෙන් සිනමා ගායනයට පිවිසුන ඔහු, එවක් පටන් දශක පහකට අධික කාලයක් පසුබිම් ගායනයේ නිරතව සිටියේය.

දකුණු ඉන්දීය සිනමාවට පණහේ හැටේ දශකවලදී පසුබිම් ගායනය සඳහා නැතිවම බැරි වූ මධුර ස්වරයක් සදහට නිහඬ වූ බවයි ඔහු පිලිබඳ මතකය අවදි කරමින් ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ දෙමළ වැඩ සටහන් නිෂ්පාදක එස් විශ්වනාදන් ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියා බීබීසී සංදේශයට කියා සිටියේ.

අසූ දෙහැවිරිදිව පීබී ශ්‍රී නිවාස් සංගීතවේදියා දිවියෙන් සමුගන්නා විට භාෂා කීපයකින් ගයා තිබූ චිත්‍රපට ගීත සංඛ්‍යාව පමණක් තුන්දහස ඉක්මවයි. ඒ බැති ගී හා ගසල් ගායනා දහස් ගණනකට අමතරව.

"චන්ද්‍රා මේ රෑ පායා ආවා," ජනප්‍රිය සිංහල ගීතයට පදනම් වූ මුල් දෙමළ ගීතයෙන් පබැඳුන හින්දි ගීතය ලතා මංගේෂ්කාර් සමඟ එක්ව ගායනා කළේත් ආචාර්ය ශ්‍රීනිවාස් බව මාධ්‍යවේදී එස් විශ්වනාදන් පවසයි.

ශෘංගාරාත්මක ගීත ලයාන්විතව ගැයීමේ හැකියාවක් තිබුණු හෙයින් ඔහුට ඉන්දීය සිනමාවේ බොහෝ යුග ගීත සඳහා ආරාධනා ලැබුණු බව ද කර්ණාටක සංගීත විචාරක එස් විශ්වනාදන් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර