කුවේටයේ විපක්ෂ නායකයෙකුට සිර දඬුවම්

Kuwait Emir
Image caption කුවේට් එමීර්වරයාට අවමන් කිරීමේ චෝදනාවට වැරදිකරු කරනු ලැබීමෙන් අනතුරුවයි විපක්ෂ නායකයාට සිර දඬුවම් නියම කෙරුණේ

කුවේටයේ මුල්පෙළේ විපක්ෂ නායකයකු වන මුසාල්ලම් අල් -බරක් (Mussallam al-Barrak) අවුරුදු පහක සිර දඬුවමකට යටත් කෙරිණ.

කුවේට් එමීර් ෂේක් සබා අල් - අහමඩ් අල් - සබාට (Sheikh Sabah al-Ahmad Al-Sabah) අවමන් කිරීමේ චෝදනාවට වැරදිකරු කරනු ලැබීමෙන් අනතුරුවයි ඔහුට සිර දඬුවම් නියම කෙරුණේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දිනක කුවේට් පාර්ලිමේන්තුව ඉදිරිපිට දියත් කෙරුණ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටි දහස් ගණනක් ජනතාව අමතා කතා කළ විපක්ෂ නායක මුසාල්ලම් අල් -බරක් රට ඒකාධිපතිවාදී අගාධයකට ගෙන යාමට එමීර්වරයාට ඉඩ නොතබන බව ප්‍රකාශ කළේය.

තම නායකයා සිරගත කරනු ලැබුනහොත් පාරට බසින බවට කුවේට් විපක්ෂ කණ්ඩායම් මේ අතර අනතුරු ඇඟවීමක් කොට තිබේ.

විපක්ෂ නායක මුසාල්ලම් අල් -බරක්, හිටපු මන්ත්‍රීවරයෙක් සහ වෘත්තීය සමිති නායකයෙක්.

කුවේට් ආණ්ඩුවට එරෙහි අන්තර්ජාල බ්ලොග්කරුවන් සහ දේශපාලඥයන් කිහිප දෙනකුම එමීර්වරයාට අවමන් කිරීමේ චෝදනා යටතේ පසුගිය කාලය තුළ සිරගත කරනු ලැබ තිබේ.