පොලීසිය බොස්ටන් බෝම්බ ප්‍රහාරය සම්බන්ධ දෙවැනි සැකකරුවා පසු පස

‘බොස්ටන්’ මැරතන් ධාවන තරඟය අතරවාරයේ එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන්, ඇමෙරිකානු FBI ෆෙඩරල් රහස් ඔත්තු සේවයේ සැකයට ලක්ව සිටි එක් තැනැත්තෙකු, වෙඩි හුමාරුවකදී මරණයට පත් විණැයි 'බොස්ටන්' පොලිසිය නිවේදනය කර ඇත.

නගරයේ ප්‍රත්‍යන්ත කළාපයක් ඔස්සේ, මෝටර් රථ මගින් තමන් සැකකරු ලුහු බඳිමින් සිටියදී, වෙඩි හුවමාරුවක් සිදු වුන බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු ඔහු විසින්ම සිදු කරන ලද පුපුරුවා ගැනීමක් මගින් හෝ වෙඩි වැදීමෙන් හෝ සිදු වූ තුවාළ නිසා මියගොස් ඇති බවයි, වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ.

බොස්ටන් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කෙරෙන දෙවැන්නා පළා යාමට සමත් වූ බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

එම සැකකරු ඉතාම භයානක ත්‍රස්තවාදියකු යයි පවසන බොස්ටන් බලධාරීහු , ඔහු අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් අවසන් වනතෙක් නිවෙස් තුළම රැඳී සිටින ලෙස නගරවාසීන්ට දැනුම් දී ඇති අතර , 'මැසචුසෙට්ස් බේ' (Massachusetts Bay) කළාපයේ මහජන ප්‍රවාහන සේවාවන් අත්හිටුවීමට ද පියවර ගෙන ඇත.

සැකකරු ලුහු බැඳ යද්දී, ඔහු තමන්ට වෙඩි තබා බෝම්බවලින් දමා ගැසූ බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

ඉහත කී සිද්ධිදාමය ආරම්භ වීමට පෙර, 'මැසචුසෙට්ස්' විද්‍යායතනය අසළ ස්ථානයකදී පොලිස් භටයකුට වෙඩි තබා මරා දැමූ සැකකරුවන් දෙදෙනා, මෝටර් රථයක් පැහැර ගෙන පළායමින් සිටි බවයි ,පොලිසියේ අදහස වන්නේ.

පළා යාමට සමත් වූ සැකකරුවා, ෂොකාර් ට්ෂානායෙෆ් (Dzhokhar Tsarnaev) නම් චෙචේන් ජාතිකයකු යයි විශ්වාස කෙරෙන බවත්, පොලිස් මෙහෙයුමේදී මරා දැමුණු තැනැත්තා පළා ගිය සැකකරුගේ සහෝදරයකු වූ තමෙර්ලාන්( Tamerlan) යයි විශ්වාශ කෙරෙන බවත් මෙයින් ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කෙරුණි.