ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව දිල්ලියේ උද්ඝෝෂණ

පස් හැවිරිදි දැරියක දූෂණය කිරීම සැළ වීමත් සමග දියත් වූ උද්ඝෝෂණ දෙවැනි දිනයේත් දිල්ලි නුවරදී පැවැත්විණ.

බලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කෝපයට පත් විරෝධතා කරුවන් ඉරිදා උද්ඝෝෂණ පැවැත්වුයේ මුල් පෙළේ දේශපාලකයන්ගේ නිවෙස් හා පොලිස් මුලස්ථානය ඉදිරිපිටයි.

මීට ඉහතදී ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං කියා සිටියේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාවට විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට පවතින බවයි.

උද්ගත වී ඇති තත්වය පිළිබඳව සංවේදීව කටයුතු කරන ලෙස අගමැති මන්මෝහන් සිං ජනතාවගෙන් ඉල්ලා සිටි අතර කාන්තාවට ආරක්ෂාව සැපයීම සියලු දෙනාගේම වගකීම බව සඳහන් කළේය.

පස් හැවිරිදි දැරිය පැහැරගෙන ගොස් දින දෙකක් තිස්සේ ලිංගික අතවර කර ඇති බවයි දිල්ලි නුවරින් වාර්තා වන්නේ.

ලිංගික අතවරයට පත්වූ දැරිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර වෛද්‍යවරුන් පවසන්නේ ඇය සංකීර්ණ ශල්‍යකර්මයකට භාජනය කළ යුතුව පවතින බවයි.

මේ වන විට සැක පිට එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර සඳුදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.