සිරියාවේ ආණ්ඩු විරෝධීන්ට තවත් ඇමරිකානු ආධාර

Image caption ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා හා අරාබි රාජ්‍ය වලින් සැදුම් ලත් 'සිරියාවේ මිතුරෝ'

සිරියාවේ විරුද්ධ පක්ෂයේ හමුදාවන්ට ලබා දෙන 'ජීවිත හානි නොකරන ආධාර' දෙගුණ කිරීමට එක්සත් ජනපදය තීරණය කර තිබේ.

ඩොලර් කෝටි දොළහකට අධික වටිනාකමක් ඇති මෙම ආධාර, දැනට පවතින අහාර සහ වෛද්‍ය පහසුකම් වලට පමණක් සීමා නොවන බවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටියේ.

ජෝන් කෙරී මේ බව ප්‍රකාශ කළේ ඉස්තාන්බුල් නුවර දී 'සිරියාවේ මිතුරෝ' කණ්ඩායමේ විදේශ ඇමතිවරුන් හමුවීමෙන් අනතුරුව.

ජනාධිපති අසාද් ට එරෙහිව සටන් වැදී සිටින කැරලි කරුවන්ට උදව් දිය හැකි ක්‍රම සහ විධි පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කැරුණු බවයි වාර්තා වන්නේ.

සෘජු යුද ආධාර

සිය සටනට එක්සත් ජනපදය සෘජුවම යුද ආධාර නොදීම පිළිබඳව කැරළි කරුවන් මේ තාක් කනස්සල්ල පළ කර තිබුනි.

'සිරියාවේ මිතුරෝ' නමින් හැඳින්වෙන රටවල් එකොළහක් තුර්කිය මුලස්ථාන කොටගත් නිදහස් සිරියානු හමුදාව මගින් අදාළ ආධාර ලබා දෙනු ඇති වග රාජ්‍ය ලේකම් වරයා ප්‍රකාශ කළේය.

මේ අතර තුර සිරියානු විරුද්ධ පක්ෂ බලධාරීහු නිවේදනයක් නිකුත් කරමින්, කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක නොදෙන බවටත් රසායනික අවි භාවිත නොකරන බවටත් ප්‍රතිඥා දුන් අතර ලැබෙන ආධාර මුස්ලිම් අන්තවාදීන් අතට පත් නොවන බවටත් සහතික වූහ.

ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහි ජන නැගිටීමෙන් දෙවසරක කාලය තුලදී මරුමුවට පත් සංඛ්‍යාව හැට දහසක්.