විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහි ඒකාබද්ධ විරෝධතා සුදානමක්

wasantha samarasinha
Image caption වසන්ත සමරසිංහ

මැයි මස විසි වෙනි දාට පෙර ඉහල නංවා ඇති විදුලි ගාස්තු පහල දැමීමට කටයුතු නොකරන්නේ නම් වැඩ වර්ජනයක් මුල් කොටගත් ඒකාබද්ධ විරෝධතාවක් මැයි මස විසි එක් වෙනි දා දියත් කරන බව රජයේත් පුද්ගලික අංශයේත් ක්ෂේත්‍ර කීපයක වෘත්තීය සමිති කියා සිටී.

අද (අඟහරුවාදා ) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වුනේ වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ මෙහයවීමෙන්.

වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වූ වසන්ත සමරසිංහ කියා සිටියේ මෙය මෑත කාලයේ ඇති වූ විශාලතම වෘත්තීය සමිති එකතුව මෙය වන බවත් මේ වන විට වෘත්තීය සමිති හය සීයක් පමණ විරෝධතා ක්‍රියා මාර්ගයකට අවතීරණය වීමට එකඟතාව පල කොට ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පුර්ණ සහයෝගය මෙම විරෝධතාවට ලැබෙන අතර මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ,දෙමළ ජාතික සන්ධානය සහ රජය සමඟ එක්ව සිටින වාමාංශික පක්ෂ සහ බහුජන සංවිධානවල සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බව වසන්ත සමරසිංහ කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික සේවක සංගමය නියෝජනය කළ සුනිල් ද සිල්වා කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විදුලි මිළ ඉහළ දැමීම පිළිබඳව විටින් විට පරස්පර විරෝධී ප්‍රකාශ කරන බවයි.විටෙක ඒකක හැටකට සහනයක් ලබාදෙන බව ප්‍රකාශ කරන අතර වාරයේ තවත් විටෙක ඉන්ධන ගැලපුම් ගාස්තුව සම්පුර්නයෙන්ම දෙසැම්බර් මාසයේදී ඉවත් කරන බව ජනාධිපති වරයා කියා සිටියත් සත්‍ය වශයෙන්ම සිදුවෙන වැඩිවීම් ආණ්ඩුව හෙළිදරව් නොකරන බව සුනිල් ද සිල්වා ප්‍රකාශ කළේය.

විදුලි බල අර්බුදයට හේතු වී තිබෙන කළමනාකරණ ගැටළු නිරාකරණය කර ගන්නේ නැතුව මිළ ඉහළ දැමීමකට එහඟ විය නොහැකි බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සම්මේලනයේ චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රකාශ කළේය.