මාතලේ සමූහ ඝාතනය විමසීමට රජයේ උනන්දුවක් නැහැ

අනුර කුමාර දිසානයක මන්ත‍්‍රී වරයා
Image caption අනුර කුමාර දිසානයක මන්ත‍්‍රී වරයා

මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් හෙළිදරව් කිරීමට රජය ප්‍රමාණවත් ලෙස උනන්දු නොවෙන හෙයින් එක දහස් නවසිය අසු හය සිට අනුව කාලවකවානුව තුළ අතුරුදහන් වූ පිරිස් වල ඥාතීන් හට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීමට සිදුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මාතලේ දී ප්‍රකාශ කළේය.

"ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යතුමා, අධිකරණ වෛද්‍ය නිළධාරීතුමා ඇතුළු පරීක්‍ෂණ කණ්ඩායම් විසින් තහවුරු කරලා තිබෙනවා මෙම සිරුරු අයත් නිෂ්චිත කාල වකවානුව 1986 - 1990 කියලා. දැන් නිශ්චිත ලෙස සිරුරු ලැබිලා තිබෙනවා. නිශ්චිත ලෙස කාල වකවානුවක් ලැබිලා තිබෙනවා. ඒ නිසා රජය විසින් මේ පරීක්‍ෂණ සිදුකොට වගකිව යුතු අය එළිදරව්‍ කළ යුතුව තිබුණා. නමුත් ඒ සඳහා රජය දක්වන්නේ ඉතාමත් ඈලි මෑලි ස්වභාවයක්". යැයි අනුර කුමාර දිසානයක මන්ත‍්‍රී වරයා කියා සිටියේය.

මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (බදාදා) විභාග වූ නඩුවට පෙත්සම් කරුවන් දහතුන්දෙනෙක් දෙනෙක් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළහ.

මෙම පෙත්සම් කරුවන් දහතුන් දෙනා නඩුවේ පාර්ශවකරුවන් ලෙස භාරගන්නා බව මාතලේ මහේස්ත‍්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

අතුරුදහන් වූ තම නෑ සියන් ගේ අස්ථි කොටස් මාතලේ සමූහ මිනී වළෙහි ඇති බවට සැක කරන බැවින් එම ක්‍රියා වන්ට වගකිවයුතු පිරිස් නීතිය හමුවට පමුණුවා තමන්ට සාධාරණයක් ඉටු කරවා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බව පෙත්සම් කරු වෙක් වෙනුවෙන් පෙනී සිටී නීතීඥය සුනිල් වටගල ප්‍රකාශ කළේය.

තම පුතු එනතුරු මඟ බලා සිටිනා එක් පෙත්සම්කාරියක් මාතලේ රොසලින් නෝනා.

Image caption මාතලේ රොසලින් නෝනා

"අසූ නවයේ දහවැනි මාසේ හයවෙනිදා නාඳුනන පිරිසක් විසින් තමයි අරන් ගියේ. කවුරු අරන් ගියාද දන්නේ නෑ. අද වෙනකම් කිසිම තොරතුරක් නෑ. තොරතුරක් සොයා දෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ."

පෙත්සම්කරුවන් දහතුන් දෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කරගන්නා ලෙස රහස් පොලීසියට නියෝගයක් නිකුත් කල මාතලේ මහේස්ත‍්‍රාත්වරිය දිවුරුම් පෙත්සම් පිළිබඳව සලකා බලා ජුනි මස දහවන දින තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළාය.