ගෝතමාලාවේ හිටපු පාලක ජනරාල් එෆ්රෙන් රියෝස් මොන්ට් හට අවුරුදු අසූවක සිර දඬුවමක්

ගෝතමාලා සිවිල් යුද සමයේ මහා ලේ වැගිරීමක් වාර්තාවූ දීර්ඝ කාල සීමාව ඇතුළත එරට පාලනය කළ ජනරාල් එෆ්රෙන් රියෝස් මොන්ට් (EFRAIN RIOS MONTT) අවුරුදු අසූවක සිර දඬුවමකට යටත් කෙරේ.

ජනරාල් මොන්ට් වරදකරු කෙරුනේ මානව වර්ගයාට එරෙහිව සිදුකළ අපරාධ සහ ජන සංහාරයක නිරත වූ බවට එල්ල වී තිබුන චෝදනාවලටයි.

එක්දහස් නවසිය අසූවේ දශකයේ බලයේ සිටි ජනරාල් මොන්ට්, ඔහුගේ පාලන සමයෙහි ලික්ෂිල් මායා ( LXIL MAYA ) ගෝත්‍රයේ එක්දහස් අටසීයකට ආසන්න ජනතාව මරා දමන ලෙස නියෝග කර ඇති බවට චෝදනා ලැබ සිටි අතර, චුදිත හිටපු පාලකයා එම චෝදනාවන්ට වරදකරු වන බවයි, 'ගෝතමාලා සිටි' උසාවියේ තීන්දුව වුනේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදහස් දැක් වූ උසාවියේ විනිශ්චයකාරවරිය ,ගෝතමාලා වාමාංශික ගරිල්ලන්ට උදව් කරතැයි සැකයට භාජනය වූ ගෝත්‍රික ප්‍රජාවට දඬුවම් කිරීම සඳහා, එම ජනතාව බඩගින්නේ තැබීම ,කාන්තාවන් දූෂනය කරවීම සහ ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කිරීම ආදී අපරාධ සිදුකරන මෙන් ජනරාල් මොන්ට් යුද හමුදාවට නියෝග කර ඇති බවයි කියා සිටියේ.

ජනරාල් මොන්ට්, ජන සංහාරයක නිරතවීම සම්බන්ධයෙන් සිය රට තුළදීම නඩු විභාගයකට යොමු කරනු ලැබූ පළමු රාජ්‍ය පාලකයා බවට පත් වෙයි.