සිරියාව සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවකට රුසියාවේ අනුමැතිය

Ban ki-Moon
Image caption සමුළුවක් සඳහා උදා වී ඇති අවස්ථාව පැහැර නොහැරිය යුතු බව මහලේකම්වරයා පවසයි

සිරියානු අර්බුදය සාකච්ඡාවට ගනු ලබන ජාත්‍යන්තර සම්මේලනයක් හැකි ඉක්මනින් කැඳවීමේ යෝජනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි-මූන් සහ රුසියාවේ විදේශ ඇමති සෙර්ගේයි ලව්රොෆ් එකඟත්වයකට පැමිණ තිබේ.

රුසියාවේ සංචාරයක නිරත වෙමින් සිටින අතරවාරයේ අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමුළුවක් සඳහා උදා වී ඇති අවස්ථාව පැහැර නොහැරිය යුතු බව කියා සිටියේය.

කැඳවනු ලබන ජාත්‍යන්තර සමුළුවට කුමන රටවල් සහභාගි විය යුතුද යන්න මෙන්ම සිරියානු දූත මණ්ඩල සැකසීම ගැනත් දැන් තීන්දු කළ යුතුව ඇති බව රුසියානු විදේශ ඇමැතිවරයා කියා සිටියේය.

එවැනි සමුළුවක් තුළ ඉරානයත් නියෝජනය විය යුතු බවද ඔහු පැවසීය.

අනාථයන් පහළොස් ලක්ෂයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා සිය රුසියානු සංචාරයේදී ජනාධිපති ව්ලදිමීර් පුතින් මුණ ගැසීමටද නියමිතයි.

Image caption සිරියාව සම්බන්ධ සමුළුවක් තුළ ඉරානයත් නියෝජනය විය යුතු බව රුසියාව අවධාරණය කරයි

මේ අතර බැන් කි-මූන් රුසියාවේ සිටින අතරවාරයේ අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් ප්‍රකාශ කෙරුනේ නිල මට්ටමින් ඇස්තමේන්තු කෙරුණ සිරියානු අනාථයන්ගේ සංඛ්‍යාව පහළොස් ලක්ෂය ඉක්මවූ බවයි.

මොස්කව් පාලනය විසින් සිරියානු ආණ්ඩුවට අවි ආයුධ සපයනු ලැබීම සම්බන්ධයෙන් පළ වෙමින් ඇති මැසිවිලි සන්සිඳවීමේ උත්සාහයක ද රුසියානු විදේශ ඇමැති වරයා නිරත වූ බවයි වාර්තා වන්නේ.

දෙරට අතර බල පැවැත්වෙන කොන්ත්‍රාත් යටතේ සිදු කෙරෙන අවි සැපයුම නිසා ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය වීමක් සිදු නොකෙරෙන බවයි, විදේශ ඇමති සෙර්ගේයි ලව්රෝෆ් ප්‍රකාශ කරන්නේ.

ජනමාධ්‍යය මගින් එම අවි ගනු දෙනු ඉදිරියට ගනිමින් අනවශ්‍ය කැළඹීමක් ඇති කිරීමට උත්සාහ ගන්නේ කුමක් නිසාදැයි තමාට තේරුම් ගත නොහැකි බව ද ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

විදේශ ඇමති ලව්රොෆ් එම අදහස් පළ කළේ, රුසියාව නවතම අවි නිපැයුම් පද්ධතියක් සිරියානු ආණ්ඩුවට විකුණා ඇති බවක් තහවුරු නොකෙරුණ වාර්තා මගින් ප්‍රකාශ වීමෙන් අනතුරුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර