උතුරේ මිය ගිය නෑසියන් වෙනුවෙන් ලන්ඩනයේ උද්ඝෝෂණ

මීට සිව් වසරකට පෙර උතුරේ , මුල්ලිවයික්කාල් හිදී මිය ගිය දස දහස් ගණන් සිය නෑසියන් වෙනුවෙන් ශෝක වෙන පිරිස් දහස් ගණනක් ලන්ඩන් නගරයේදී උද්ඝෝෂණයකට සහභාගිවූහ.

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සහ බ්‍රිතානයේ චාර්ල්ස් කුමාරයා සහ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සමුළුවට සහභාවීමට තමන් විරෝධය පල කරන බව ඔවුහු කියා සිටියහ.

දෙමළ ඩයස්පෝරාව කරන ඉල්ලීම්වලට බ්‍රිතාන්‍ය රජය කන් නොදෙන බව තමන් දන්නා බව පැවසූ උද්ඝෝෂකයෝ එසේ වුවත් තම විරෝධය ලොවට කියා පෑ යුතු බව කියා සිටියහ.

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාවීමට බකිංහැම් මාලිගය සහ බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය ගැන කණගාටුවන බව පැවසූ උද්ඝෝසණය සංවිධානය කළ, BritishTamil Forum සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සෑම් ක්‍රිෂ්ණා පැවසුවේ බ්‍රිතාන්‍යයේ දෙමළ ජනතාව ඊට දැඩි විරෝධය පල කරන බවයි