මළවුන් සැමරූ මන්ත්‍රීවරයා හතරවැනි තට්ටුවට

ජනාධිපති කොමිසන් වාර්තාවකින් නිර්දේශ කොට ඇති මළවුන් සිහිපත් කිරීමේ අයිතිය රජය විසින් උල්ලංඝනය කොට ඇති බව විපක්ෂයේ නායකයකු ප්‍රකාශ කරයි.

යුද්ධයේදී මියගිය පුද්ගලයන් සිහිකිරීම සඳහා සැමරුම් උළෙලක් මැයි 18 වෙනිදා වව්නියාව පුරහලේ සංවිධානය කළ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට රහස් පොලිසියට පැමිණෙන ලෙස ලිඛිත නියෝගයක් දීමෙන් මේ බව පැහැදිලි වන බවයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසන්නේ.

" එල් එල් ආර් සී වාර්තාවේ නිර්දේශයක් තියෙනවා මැරිච්ච අය මතක් කරන්න, සමරන්න අවස්ථාවක් දිය යුතුයි කියලා, ඒත් ආණ්ඩුව ඒ සඳහා ඉඩ දීල නැහැ, දැන් සැමරීම සංවිධානය කළ මන්ත්‍රී වරයාට රහස් පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දීලා" සැමරුම් උළෙලට සහභාගී වූ ඔහු බී බී සී සංදේශයේ දිනසේන රතුගමගේට කියා සිටියේය.

2011 නොවැම්බරයේ නිමා කැරුණු උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් වන්නේ යුද්ධයේ මියගිය අය සැමරීමේ අවස්ථාව රජය විසින් සලසා දිය යුතු බව.

යුද්ධයෙන් පීඩාවට පත් සියලු දෙනා වෙත සහෝදරත්වය හා සහනුකම්පාව පළ කරනු වස් ජාතික දිනයක් වෙන් කළ යුතු බවද එහි ප්‍රකාශයට පත් කර තිබේ.

එසේ තිබියදී උතුරේ මළවුන් සිහිපත් කරන්නන් දඬුවමට යටත් කිරීමට තම විරෝධය පළ කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායකයා දේශපාලන නායකයන් එකතු වී හෝ මළවුන් සිහිපත් කිරීමේ අයිතිය ජනතාවට ලබාදෙන බවයි පවසන්නේ.

මේ අතර මැයි 18 වනදා මන්නාරමේ පැවති මළවුන් සිහිපත් කිරීමේ උළෙලකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගත පුද්ගලයන් පහළොස් දෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ගෙන් විමසු බී බී සී සංදේශයේ දිනසේන රතුගමගේට වැඩි දුර කරුණු පැවසීම ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා රහස් පොලිසිය කළ දැනුම්දීම සම්බන්ධයෙන් තමා බියපත්වී සිටින බවයි ප්‍රකාශ කර ඇත්තේ.