ස්ටොක්හෝම් නගරයේ ප්‍රචණ්ඩ කැරලි

Stockholm

ස්ටොක්හෝම් නගරය තුළ සංසුන් තත්වයක් යළි ඇති කිරීම සියලු දෙනාගේම වගකීමකැයි ස්වීඩන් අගමැති ෆ්‍රෙඩ්රික් රින්ෆෙල්ද්ට් ප්‍රකාශ කළේය.

පිට පිට රාත්‍රී තුනක්ම ස්ටොක්හෝම් නගරය ප්‍රචණ්ඩ කැරලි ගැසීම්වලට ගොදුරු වීමෙන් පසුවයි, ස්වීඩන් අගමැති වරයා එවැනි ප්‍රකාශයක් කළේ .

තවදුරටත් කරුණු පැහැදිලි කරන අගමැති ෆ්‍රෙඩ්රික් රින්ෆෙල්ද්ට්, අසල්වැසියකුගේ මෝටර් රථයකට ගිනි තබනු ලැබීම විනාශකාරී ක්‍රියාවක් මිස,කතා කිරීමේ නිදහසට උදාහරණයක් නොවන බවයි පෙන්වා දුන්නේ.

ස්ටොක්හොම්ස් අගනුවර පැතිර ගිය ප්‍රචණ්ඩ ප්‍රහාරවලදී පාසල් දෙකක් සහ මෝටර් රථ තිහක් ගිනිබත් කෙරුණ අතර,අට දෙනකු අත් අඩංගුවට ගනු ලැබුහ.

ඉහත කී ප්‍රචණ්ඩ ප්‍රහාර රැල්ල පැතිර ගියේ,සංක්‍රමණිකයන් වැඩි වශයෙන් ජීවත් වෙන කලාපයක සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු මරා දමනු ලැබීමෙන් පසුවයි.

එම පුද්ගලයා විශාල පිහියක් රැගෙන තමන්ට මරණීය තර්ජන සිදු කළ අවස්ථාවේ තමන් ඔහුට වෙඩි තැබූ බවයි,ස්වීඩන් පොලිසිය පවසන්නේ.