මහා සාහිත්‍යවේදියෙක් අවසන් ගමනේ

දිවියෙන් සමුගත් ජගත් සාහිත්‍යධර චිනුආ අචේබේගේ (Chinua Achebe) අවමඟුල් උළෙල දහස් සංඛ්‍යාත ජනකායක් මැද්දේ බ්‍රහස්පතින්දා සිදු කැරුනි.

කිතුනු ආගමික වතාවත් මැද නයිජීරියානු ලේඛකයාගේ අවමඟුල සිදු වුනේ, ඔහුගේ ජන්ම භූමිය වන නැගෙනහිර නයිජීරියාවේ, ඔජිඩි (Ogidi) නගරයේදී.

මහා ලේඛක අචේබේ ගේ දේහය බදාදා ගෙන එන ලද්දේ ඔහු පදිංචි වී සිටි ඇමරිකා එක්සත් ජනපදයේ සිටයි.

නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් සහ ඝානාවේ ජනාධිපති ජෝන් මහමා (John Mahama) ඇතුළු සම්භාවනීය පුද්ගලයන් රැසක්ම චිනුආ අචේබේගේ (Chinua Achebe) අවමඟුල් උළෙලට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

යටත්විජිතවාදය

නූතන අප්‍රිකානු සාහිත්‍යයේ පිතෘ වරයා හැටියට සම්භාවනාවට ලක්වන අසූ දෙවැනි වියේ පසු වූ මහා සාහිත්‍යධරයා අභාවප්‍රාප්ත වුනේ පසුගිය මාර්තු මාසයේ.

අප්‍රිකානු මහාද්වීපයට යටත්විජිතවාදය නිසා මුහුණ දීමට සිදුවුණ ප්‍රතිවිපාක ඔහුගේ නිර්මාණවලට පාදක වුනා.

ඔහුගේ විවරණය කිරීමට හසු තවත් සමාජ පැතිකඩක් වුනේ, අප්‍රිකානු ප්‍රාදේශීය සංස්කෘතීන් සහ නූතන සමාජයයි.

බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ ගැටුම් නිරූපනය කරන, ‘‘තිංග්ස් ෆොල් අපාර්ට්’’ (Things Fall Apart) නමැති අචේබේගේ සාහිත්‍ය නිර්මාණය පිටපත් මිලියන 10ක් අලෙවි වූ අතර සිංහල ඇතුළු භාෂා 50කට පරිවර්තනය වී ඇත.