උතුරේ ඉඩම් පවරාගැනීම ගැන එක්සත් ජාතීන්ට චෝදනා කරති

උතුරේ වැසියන්ගේ ඉඩම් ආරක්ෂක හමුදා මගින් බළහත්කාරයෙන් පවරා ගැනෙන බවටත්, ආරක්ෂක අංශවල නිලධාරීන් විසින් බාල වයසේ දැරියන් දුෂණය කිරීමේ අවස්ථා ඉහල යමින් තිබෙන බවටත් උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති.

කිලිනොච්චියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත වරිය හමුවූ උතුරේ මන්ත්‍රී වරුන් පිරිසක් විසිනුයි, එම චෝදනාව එල්ල කරනු ලැබුවේ.

මේ අතර පේදුරුතුඩුවේ වැසියන් පිරිසක්, හෝටලයක් ඉදි කිරීම සඳහා අක්කර අටක ඉඩමක් මැනීමට ගිය මිනින්දෝරු පිරිසක් වෙත විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවද වාර්තා වේ.

සමාගමක් සඳහා බලහත්කාරයෙන් පවරා ගනු ලැබූ බව පැවැසෙන මෙම ඉඩම මැනීමේ කටයුතු උද්ඝෝෂණය හමුවේ අතහැර දැමූ මිනින්දෝරු නිලධාරීන් පිටව ගිය බවද ප්‍රදේශවාසීහු පවසති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත වරිය වන ඇග්නස් අසෙකින් උනියේ මුණ ගැසුණු දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ප්‍රකාශ කළේ යුද්ධයෙන් පසු ජනතාව යලි පදිංචි කරවීමේ කටයුතු සාර්ථකව සිදු කිරීමට රජය අපොහොසත්වූ බව තමන් ඇයට දැනුම් දුන් බවයි.

යුද්ධයේදී අතුරුදන් වූවන් පිළිබඳව රජය තවමත් මුනිවත රකින බව තමන් නියෝජිතවරිය හා පැවැසූ බවද ඇය හමුවූ මාවේ සේනාධිරාජා, නෝහා රාධලිංගම් සහ එස් ශ්‍රීධරන් මන්ත්‍රීවරු පවසති.

උතුරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට වඩා වැදගත් වන්නේ ප්‍රදේශයේ ජනතාවගේ මුලික ප්‍රශ්න විසඳීම බවද මෙම මන්ත්‍රී වරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත වරිය හා ප්‍රකාශ කර සිටියාය.