ඇෆ්ඝන් සැකකරුවන් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට චෝදනා

thaliban prisoners
Image caption නීතිවේදීන් පවසන්නේ,තම සේවාදායකයන් සිරකර තබා ගැනීම නීතියට පටහැනි ක්‍රියාමාර්ගයක් වන බවයි.

ඇෆ්ඝන් කැරලිකරුවන් යයි සැකකෙරෙන අසූවකට අධික පිරිසක් 'හෙල්මන්ඩ්' ප්‍රාන්තයේ බැසිසන් කඳවුරේ (Camp Bastion) චෝදනා ඉදිරිපත් කරනු ලැබීමෙන් තොරව සිරකර තබා ඇති බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පිළිගනු ලැබ ඇත.

එම සැකකරුවන් අතරින් අටදෙනකු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් පවසන්නේ,තම සේවාදායකයන් සිරකර තබා ගැනීම නීතියට පටහැනි ක්‍රියාමාර්ගයක් වන බවයි.

එම කණ්ඩායම මාස දාහතරක් තරම් දීර්ඝ කාලයක් සිරභාරයේ පසුවෙන බවත් ප්‍රකාශ කෙරිණ .

ඇෆ්ඝනිස්තාන් ආණ්ඩුවේ ප්‍රකාශක ජනරාල් ෂාහීර් අෂිමි,ඉහත කී සැකකරුවන් තමන්ට භාරදෙන මෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

එහෙත් එවැනි භාරදෙනු ලැබීමකට සැකකරුවන්ගේ නීතිවේදීන් අවහිර කරන බවයි, බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ලේකම්,පිලිප් හැමන්ඩ් ( Philip Hammond) පවසන්නේ.

තවදුරටත් අදහස් දැක් වූ බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ලේකම්වරයා, ජාත්‍යන්තර හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලත් නෛතික අනුමැතිය යටතේ,ඉහත කී සැකකරුවන් සිරකර තබාගෙන සිටින බවයි කියා සිටියේ.