බුරුමයේ කචින් කැරලිකරුවන් සමග සටන් විරාමයක්

දෙවසරක යුද ගැටුම් නිසා දහස් සංඛ්‍යාත ජනකායකට උන්හිටිතැන් අහිමිවී තිබෙන උතුරු දිග බුරුමයේ කචින් කැරලිකරුවන් සමග සටන් විරාමයකට එළඹීමට පාලකයන් එකඟ වී තිබේ.

භට පිරිස් ආපසු කැඳවා දේශපාලන විසඳුමක් වෙනුවෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටත් දෙපාර්ශවය ගිවිස ගෙන ඇත.

හත්වසරක් කල් පැවැති සටන් විරාමයක් 2011දී බිඳී ගියේ දෙපාර්ශවය අතර චීන දේශසීමා මායිමේ සටන් ඇවිලී යාමෙන්.

කචින් නිදහස් පෙරමුණ ස්ථානගතව සිටින ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර හා බර අවි ප්‍රහාර හෙළීම හේතුවෙන් බුරුම රජය ඉකුත් වසර අගදී ජාත්‍යන්තර හෙලා දැකීමට ලක්විය.

කචින්වරු ස්වයංපාලනයක් ඉල්ලා සටන් වදින්නේ අඩසිය වසකටත් වැඩි කලක පටන්.