ලෙබනනයට සිරියානු කැරලිකරුවන්ගෙන් රොකට් ප්‍රහාරයක්

සිරියානු කැරලිකරුවෝ නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් දිස්ත්‍රික්කයට රොකට් ප්‍රහාර හයක් පමණ එල්ල කළහ.

හිස්බුල්ලා ඉස්ලාමීය සටන්කාමීන්ගේ බලකොටුවක් වන නැගෙනහිර ලෙබනනයට සිරියානු කැරලිකරුවන් පහර දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

රොකට් ප්‍රහාර වලින් ජීවිත හානි සිදුවූ බවට වාර්තා වී නැති අතර ඉතා සුළු දේපල හානි සිදුවූ බවයි පැවසෙන්නේ.

සිරියාවේ සිට එල්ල කෙරෙන රොකට් ප්‍රහාර වලට ලෙබනනය නිතර ගොදුරු වේ.

එම ප්‍රහාර වලට සිරියානු කැරලිකරුවන්ට හිතවත් සුන්නි ඉස්ලාම් ජනකොටස් වෙසෙන ප්‍රදේශ මෙන්ම සිරියානු ආණ්ඩුවට සහය දෙන හිස්බුල්ලා සංවිධානය බලවත් ප්‍රදේශද ඉලක්ක වී ඇත.

රොකට් ප්‍රහාර වලට පෙර බාල්බෙක් ප්‍රදේශයේ ෂියා ඉස්ලාමීය දේවස්ථානයකට තුවක්කුකරුවෙක් විසින් එල්ල කළ ප්‍රහාරයක් නිසා ලෙබනනයේ ෂියා සහ සුන්නි නිකායවාදී ජනකොටස් අතර පවතින නොසන්සුන්තාව වර්ධනය වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.