වියට්නාමයේ චීන විරෝධී උද්ඝෝෂණ

වියට්නාමයේ හැනොයි අගනුවර චීන විරෝධී උද්ඝෝෂණයක් දියත් විය.

වියට්නාම් පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් විසුරුවා හැර ඇති අතර පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උද්ඝෝෂණය දියත් වූයේ චීන මුර යාත්‍රාවක් විසින් වියට්නාම් ධීවර බෝට්ටුවකට ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමෙන් අනතුරුවයි.

චීන මුහුදු කලාපයට වියට්නාම් ධීවරයන් අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි චීනය කියා සිටියේ.

දකුණු චීන මුහුදේ ස්වාධිපත්‍යය අරඹයා මතුවී තිබෙන උණුසුම් තත්වය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවට වියට්නාමයේ අගමැතිවරයා අනතුරු අඟවා තිබුණි.

සාමකාමී සංවර්ධනයක්

දකුණු දිග සහ නැගෙනහිර මුහුදු කලාපය පිලිබඳව චීනය දක්වන පිළිවෙතට එරෙහිව පවතින විවේචන බැහැරලමින් චීනය කියා සිටින්නේ තම රටට අවශ්‍යව ඇත්තේ සාමකාමී සංවර්ධනයක් පමණක් බවයි.

චීන යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් චී ජොන් - කුවෝ මෙම ප්‍රකාශය කරන ලද්දේ සිංගප්පුරුවේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවකදී.

පසුගිය තිස් වසර පුරාවට චීනය කිසිදු ආකාරයක යුද්ධයකට මැදිහත් වී නැති බවද චීන ජෙනරාල් වරයා මෙහිදී තවදුරටත් කියා සිටියේය.

සිංගප්පුරුවේ පැවැත්වෙන මෙම ආරක්ෂක සමුළුවේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුනේද අසල්වැසි රටවල් සමඟ චීනය ඇතිකරගෙන තිබෙන කලාපීය මතභේදයන් පිළිබඳවයි.