ජගත් මාධ්‍ය අභියෝග බැංකොක් සමුළුවේ සාකච්ඡාවට

Image caption මාධ්‍ය වාරණයට එරෙහි වීමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවීමත් වෙනුවෙන් වසරේ රන් පන්හිඳ සම්මානය බුරුමයේ තං ටු අවුං වෙත

ලොව පුරා මාධ්‍ය සංස්කාරකවරුන් එක් කොට ගත් විසිවැනි ජගත් කතු මුළුව තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ විය.

නව්‍යකරණයත් සමග ප්‍රවෘත්ති වාර්තාකරණයේ ඉදිරි වර්ධනය සාකච්ඡා කැරෙන හැට පස් වැනි ජගත් පුවත්පත් සම්මේලනයට සමගාමීව පැවැත්වෙන කතු මුළුවේ දී විශේෂයෙන්ම කතා බහට ලක් වුනේ නව මාධ්‍ය භාවිතය හමුවේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී එල්ල වන අභියෝග පිලිබඳවයි.

එංගලන්තයේ ස්වයං නියාමනය

ශ්‍රී ලංකාවෙන් මෙම සමුළුවට සහභාගි ව සිටි එකම මාධ්‍ය වේදියා වූ Groundviews වෙබ් අඩවියේ සංස්කාරක සංජන හත්තොටුව බැංකොක් නුවර සිට බීබීසී සංදේශයට කියා සිටියේ එංගලන්තය, බුරුමය, අප්‍රිකාව, ආර්ජන්ටිනාව හා සිංගප්පුරුව යන රටවල මාධ්‍ය වාරණය විශේෂ සාකච්ඡාවට භාජනය වූ බවයි.

"එංගලන්තය ගැන විශේෂයෙන්ම මෙහිදී සඳහන් වුනා. අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පනවා තිබෙන ස්වයං නියාමනය පිලිබඳ බලවත් කනස්සල්ල මෙහිදී කතුවරුන් පලකළා. එම ස්වයං නියාමනය ඉවත් කරන ලෙසද මෙහිදී විශේෂ ඉල්ලීමක් කෙරුණා."

එක් රජයක් වාරණ නීති පනවන විට එය අනෙක් රටවලද න්‍යාය පත්‍ර වලටද ඇතුළු කර ගැනීමේ පූර්වාදර්ශ සැපයීමේ අනතුරත් සමුළුවේදී සාකච්ඡාවට ගැනුණු බව සංජන හත්තොටුව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

සිංගප්පූරු වාරණය

"පාඨක සංඛ්‍යාව අනුව මුදල් ගෙවීම පදනම් කරගත් ලියාපදිංචියක් සඳහා කැරෙන බල කිරීමක් මගින් සිංගප්පුරුවේ වේබ් අඩවි වාරණයකට ලක් කැරෙන ආකාරයත් මෙහිදී සඳහන් වුනා".

කෙසේ නමුත්, නව අන්තර්ජාල මාධ්‍ය භාවිතයේ වර්ධනය හේතුවෙන් ප්‍රවෘත්ති හා තොරතුරු වාර්තාකරණය පහසු මෙන්ම ඉතා වේගවත් වී තියෙන බව කතු මුළුවේදී අවධාරණය වී ඇත.

සමාජ මාධ්‍ය

අන්තර්ජාල සමාජ මාධ්‍ය මෙන්ම විවිධ වෙබ් අඩවි භාවිතා කිරීමේ දී අද මුහුණ පාන විශේෂම අභියෝගය වන්නේ එම තොරතුරු වල නිරවද්‍ය භාවය හා විශ්වාසනියත්වය පිළිබඳව ඇති පවතින ගැටළු දිනෙන් දිනම උග්‍ර වෙමින් බවයි, 'ග්‍රවුන්ඩ් විව්ස්' සංස්කාරක හත්තොටුව කියා සිටියේ.

ජුනි දෙවැනි දා සිට පස් වැනිදා දක්වා පැවැත්වෙන ජගත් කතු මුළුවට ලොව පුරා රටවල් වලින් මාධ්‍ය කරුවෝ රැසක් සහභාගී වන අතර, බුරුමයේ මාධ්‍ය වාරණයට එරෙහි වීමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවීමත් වෙනුවෙන් වසරේ රන් පන්හිඳ සම්මානය එහිදී පුද කැරුණේ පුවත්පත් ප්‍රකාශක තං ටු අවුං (Than Htut Aung) හටයි.