පරිසරවේදීන්ට එල්ලකළ පොලිස් ප්‍රහාරයට තුර්කි නියෝජ්‍ය අගමැති සමාව ඉල්ලයි

තුර්කියේ පරිසරවේදීන්ට එරෙහිව එල්ලකළ දැඩි පොලිස් ප්‍රහාරයක පිළිබඳව නියෝජ්‍ය අගමැති බුලෙන්ඩට් ආනික් (Bulent Arinc) සමාව ඉල්ලා සිටියි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් රජය දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

සාධාරණ ගැටළු ඉස්මතු කලවිට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයකින් එම උද්ඝෝෂකයන් මැඩලීමට උත්සාහ කළ බව නියෝජ්‍ය අගමැතිවරයා පිළිගත්තේය.

තුර්කියේ ඉස්තාන්බූල් නගරයේ උද්‍යානයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් මුල් කොටගෙන උද්ඝෝසණ ආරම්භ වූ අතර පසුව එය සෙසු නගරවලටත් පැතිර ගියේය.

තුර්කි ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂනවලට සහය පළකරමින් එරට ප්‍රධාන පෙළේ වෘතීය සමිතියක් වන කෙස්ක් වෘතීය සමිති ෆෙඩරේෂණය දින දෙකක වැඩ වර්ජනයක් දියත් කරමින් කියා සිටියේ රජය රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැර ඇති බවයි.

ඊයේ රාත්‍රීයෙත් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවති අතර විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් හට ගැනින.

ගැටුම්වලින් තවත් පුද්ගලයකු මිය ගොස් ඇති බව දකුණු දිග අන්ටාක්‍යා නගරයේ ආණ්ඩුකාරයා තහවුරු කළේය.

ඉකුත් ඉරිදා, නවත්වන ලෙසට කළ අනතුරු ඇඟවීම් නොතකා, විරෝධතා කරුවන් අතරට හඹා ආ මෝටර් රථයක්, තරුණයකු යටකර දැමූ බව තුර්කි වෛද්‍යවරුන්ගේ සංගමය පැවසුවේය.