යටත් විජිත කැරලිකරුවන්ට බ්‍රිතාන්‍ය වන්දි

Image caption මාවූ-මාවු වන්දිය පිලිබඳ බ්‍රිතාන්‍ය තීන්දුව ප්‍රකාශ වන තුරු...

නවසිය පනස් ගණන් වල මාවූ-මාවු කැරළි සමයේ යටත් විජිත හමුදා විසින් වධ බන්ධනයට පත් කරන ලද හෝ නොමනා ලෙස සලකන ලද හෝ කෙන්යානුවන්ට කෝටි ගණනින් වන්දි ගෙවීමට බ්‍රිතාන්‍ය රජය එකඟ වී තිබේ.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය විලියම් හේග් පාර්ලිමේන්තුව අමතා කියා සිටියේ කෙන්යානුවන් විඳි වේදනාව තමනට වැටහෙන අතර සිදුවූ අපචාර සම්බන්ධයෙන් අවංකව කනගාටු වන බවයි.

කෙසේ වෙතත් කෙන්යාව හා බ්‍රිතාන්‍ය අතර සබඳතා දිගටම් යහපත්ව පවතිනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

උසාවි නොගොස් ඇතිකරගත් මෙම බේරුම අනුව බ්‍රිතාන්‍ය නීතිඥ සමාගමක් විසින් නියෝජනය කරනු ලැබූ පන්දහසකට වැඩි කෙන්යානුවන් පිරිසකට ගෙවිය යුතු මුදල ඩොලර් කෝටි තුනක්. ඊට ගාස්තුද ඇතුලත්.

ඇතැම් හිටපු මාවූ-මාවූ සටන්කාමීන් වන්දිය ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කරන අතර, මේ නඩුවට සම්බන්ධ නොවූ බොහෝ දෙනාට කිසිදු ප්‍රතිලාභයක් අත්වන්නේ නැහැ.