ඇමෙරිකානු නිලධාරියා පාකිස්තාන් විදේශ අමාත්‍යංශයට කැඳවයි

pakistan usa drone
Image caption ඇමෙරිකානු නිලධාරීන් කියා සිටින්නේ, එවැනි ප්‍රහාර එල්ල කරනු ලැබීම තාලිබාන් සහ අල් කයිඩා ප්‍රහාරකයන් මැඩලීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් වන බවයි.

නියමුවන් රහිත ඇමෙරිකානු යානයක් මගින් සිකුරාදා එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට පාකිස්තාන් පාලනය විසින් එක්සත් ජනපද ජ්‍යෙෂ්ට තානාපති නිලධාරියකු කැඳවන ලද බව නිවේදනය කොට ඇත.

එම ඇමෙරිකානු ප්‍රහාරයෙන් අඩුවශයෙන් හත් දෙනකුවත් මරා දමන ලද බවයි ප්‍රකාශ කෙරුනේ.

පාකිස්තාන් විදේශ අමාත්‍යංශ ප්‍රකාශනයකින් කියැවෙන්නේ, නියමුවන් රහිත යානා මගින් එල්ල කරනු ලබන ඉහත කී ආකාරයේ ප්‍රහාර වහාම නතර කළ යුතු බව, ඉස්ලාමාබාද් නගරයේ සිටින ඇමෙරිකානු ජ්‍යෙෂ්ට තානාපති නිලධාරී රිචර්ඩ් හොග්ලන්ඩ්(Richard Hoagland) කැඳවා ඔහුට දැනුම් දුන් බවයි.

පාකිස්තානයේ නව අගමැති නවාෂ් ෂරීෆ් මේ සතිය මුලදී පදවියේ දිව්රුම් දුන් අතර,ඉන්පසුව එම භූමියෙහි ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ල කෙරුණ පළමු වතාව මෙයයි.

විදේශ රටවල් විසින් තම භූමියෙහි ප්‍රහාර එල්ල කරනු ලැබීම රටේ පරමාධිපත්‍යය උල්ලංඝනය කරනු ලැබීමක් යයි පෙන්වාදෙන නව අගමැති නවාෂ් ෂරීෆ් එවැනි ක්‍රියාවන් නතර කරන බවට ප්‍රතිඥාවක් ද දී ඇත.

මේ අතර ඇමෙරිකානු නිලධාරීන් කියා සිටින්නේ, ඇෆ්ඝන් සහ පාකිස්තාන් දේශ සීමාවේ එවැනි ප්‍රහාර එල්ල කරනු ලැබීම තාලිබාන් සහ අල් කයිඩා ප්‍රහාරකයන් මැඩලීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් වන බවයි.