අද්වානි බීජේපියෙන් සමුගනී

bjp,advani,india
Image caption ගෝවා නගරයේ පැවැත්වුන භාරතීය ජනතා පක්ෂයේ සමුළුවට සහභාගී නොවූ අද්වානි, තමා අසනීපයෙන් පසුවෙන බවයි දැනුම් දී තිබුනේ.

ඉන්දීය දේශපාලනයේ ජ්‍යෙෂ්ට නායකයකු වන එල්.කේ. අද්වානි ඔහු නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ සියලුම නිලතල වලින් ඉල්ලා අස්විය.

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දී පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ලැබීම එම පක්ෂයේ තවත් නායකයකු වන නරේන්ද්‍ර මෝඩි වෙත පවරනු ලැබීමෙන් දවසකට පසුවයි, අද්වානිගේ ඉල්ලා අස්වීම සිදු වුනේ.

නරේන්ද්‍ර මෝඩි ඉන්දීය දේශපාලනයේ මතභේදාත්මක චරිතයක්.

පක්ෂයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ට ඉන්දීය දේශපාලනඥ එල්.කේ.අද්වානි කියා ඇත්තේ, බීජේපීයේ වත්මන් ගමන් මාර්ගය සම්බන්ධයෙන් තමා තුළ ප්‍රසාදයක් නොමැති බවයි.

පෞද්ගලික න්‍යාය පත්‍ර

භාරතීය ජනතා පක්ෂයේ බොහෝ නායකයන් ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර පිළිබඳව පමණක් අවධානය යොමුකරමින් සිටින බවත්, අද්වානි සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් කියා සිටී.

එල්.කේ.අද්වානි භාරතීය ජනතා පක්ෂයේ සමාරම්භක නායකයෙක්.

පසුගිය සති අන්තයේ ගෝව නගරයේ පැවැත්වුන භාරතීය ජනතා පක්ෂයේ දෙදින සමුළුවට සහභාගී නොවූ අද්වානි, තමා අසනීපයෙන් පසුවෙන බවයි දැනුම් දී තිබුනේ.