ඇමෙරිකානු ඔත්තු සේවකයා හෙළි කළ තොරතුරු ගැන පරීක්ෂණයක්

US NSA
Image caption ඇමෙරිකානු බලධාරීන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්හි නිරත වෙමින් සිටින බව එඩ්වර්ඩ් ස්නෝඩන් පවසයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම රහස් ඔත්තු සේවයේ පරිගණක අංශයේ සේවකයෙක් වන එඩ්වර්ඩ් ස්නෝඩන් හෙළිකරන ලද රහස් තොරතුරු පිලිබඳ පරීක්ෂණ අරඹා ඇති බව අධිකරණදෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

රහස් ඔත්තු සේවා, ලක්ෂ ගණනක් ජනතාවගේ දුරකථන සංවාද, ඉලෙක්ට්‍රොනික තැපැල් සහ අනෙකුත් ආකාරයේ පෞද්ගලික සන්නිවේදන කටයුතු වලට රහසින් සවන් දෙන බවත්, එම පුද්ගලයින් පිලිබඳ තොරතුරු නීති විරෝධී අන්දමින් රැස්කරන බවත් ඔහු ජනමාධ්‍ය වෙත හෙළිදරව් කළේය.

බ්‍රිතාන්‍ය පුවත් පතකට ප්‍රකාශයක් කල එඩ්වර්ඩ් ස්නෝඩන් කියා සිටින්නේ ඇමෙරිකානු බලධාරීන් බලය අනිසි ලෙස භාවිත කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්හි නිරත වෙමින් සිටින බවයි.

තොරතුරු හෙළි කිරීමෙන් පසු තම අනන්‍යතාවය හෙළිදරව් කළ ස්නෝඩන් දැනට හොංකොං හි රැඳී සිටින බවයි ඔහුගේ ප්‍රකාශය පල කල ගාර්ඩියන් පුවත් පත කියා සිටින්නේ.

මෙම හෙළිදරව්ව මගින් ඇමෙරිකානු රජය ලොව පුරා සිදු කරන්නාවූ ඔත්තු බැලීමේ පරිමාණය මෙන්ම ස්වභාවය පිලිබඳ ආන්දෝලනයක් පැන නැගී ඇති අතර, බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා ඇමෙරිකාව මේ අන්දමින් ගොනු කළ තොරතුරු ලබාගත් බවට බ්‍රිතාන්‍ය රජයට එරෙහිව මෙම හෙළිදරව්වෙන් චෝදනා එල්ලවී ඇත.

රහස් ඔත්තු සෙවීම පිළිබඳව බ්‍රිතානයේ බලපැවැත්වෙන තදබල නීති රීති මඟහැර පුද්ගල තොරතුරු ගොනුකිරීම සඳහා ඇමෙරිකානු ඔත්තු සේවා යොදා ගත් බවට එල්ලවී ඇති චෝදනා වලට පිළිතුරු දීමේ ප්‍රකාශනයක් බ්‍රිතාන්‍ය විදේශ ඇමති වරයා විසින් පාර්ලිමෙන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර