වතිකානය තුල 'දුෂිත සමලිංගික කල්ලියක්'

වතිකානය තුල එහි පාලන අධිකාරයට සම්බන්ධ සමලිංගික කල්ලියක් ක්‍රියාත්මක වන බවත්, දුෂණ හා වංචා සිදුවෙමින් පවතින බවත් ශුද්දෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිළිගෙන ඇති බව වාර්තාවී ඇත.

ලතින් ඇමරිකානු කතෝලික පුජක වරුන් සමග පැවති පොද්ගලික රැස්වීමකදී පාප් වහන්සේ විසින් පවසන ලද්දක් උපුටා දක්වන එම වාර්තාවට අනුව වතිකාන පාලන අධිකාරය ශුද්ධ වු පුද්ගලයින් බොහෝදෙනෙකුගෙන් සමන්විත වුවත් දුෂණ හා වංචා සිදුවෙන බවද උන්වහන්සේ පවසා ඇත.

පාලන අධිකාරිය තුල සමලිංගික පිරිස් සිටින බව සත්‍යයැයි පවසන පාප්වහන්සේ ඒ පිළිබඳව කල හැක්කේ කුමක්දැයි සොයා බැලීමට තමන් වහන්සේට සිදුවන්නේ යැයිද පැවසූ බව සඳහන්.

පෞද්ගලික අරමුණු

කෙසේවුවද, සමලිංගික වතිකාන පුජක වරුන් ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එක්ව කටයුතු කරමින් සිටින බවට මීට පෙර අවස්ථාවකදී පලවූ මාධ්‍ය වාර්තා වතිකානය ප්‍රතික්ෂේප කර සිටියා.

මේ අතර, පාප් වහන්සේ විසින් එම පෞද්ගලික රැස්වීමේදී කරන ලද සංවාදයේ සාරාංශයක් මාධ්‍ය වෙත නිකුත්වීම පිළිබඳව ලතින් ඇමෙරිකානු පුජක කණ්ඩායම නියෝජනය කරන සංවිධානයක් විසින් පාප් වහන්සේ වෙතින් සමාව අයැද සිටි බවද සඳහන්.