බ්‍රසීල නායිකාව විරෝධතාවාදීන් සමඟ සාකච්ඡාවට සූදානම්

brazil prorests
Image caption මහජන සේවාවන් සඳහා වෙන් කෙරෙන මුදල් ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් යොදවන්නේ නැති බවයි බ්‍රසීල නායිකාව පවසන්නේ.

බ්‍රසීලයේ ආණ්ඩුවට එරෙහිව වීදි බැස සිටින විරෝධතාවාදීන්ගේ ඉල්ලීම් ඉටුකරන බවට ජනාධිපතිනි,දිල්මා රවුසෙෆ් (Dilma Rousseff) ප්‍රතිඥාවක් දුන්නාය.

ජනාධිපතිවරියගේ එම ප්‍රතිඥාව ප්‍රකාශයට පත් වුනේ වීදි විරෝධතා ආරම්භ වීමෙන් සතියකට පසුව.

පවතින අර්බුදකාරී තත්වය හමුවේ ජාතිය අමතා කතා කළ ජනාධිපතිනි දිල්මා රවුසෙෆ් කියාසිටියේ, දූෂණ මැඩලීමට පියවර ගන්නා අතරම,ප්‍රවාහන,අධ්‍යාපන සහ සෞඛ්‍යය යන මහජන සේවාවන් වෙනුවෙන් තවත් මුදල් ආයෝජනය කරන බවයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු තරඟාවලියේ සත්කාරක රට හැටියට ක්‍රියා කිරීම යුක්ති සහගත කරමින් කරුණු දැක් වූ බ්‍රසීල නායිකාව,මහජන සේවාවන් සඳහා වෙන් කෙරෙන මුදල් ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් යොදවන්නේ නැති බවයි කියා සිටියේ.

විරෝධතා ව්‍යාපාරයේ නායකයන්ට සාකච්ඡා සඳහා අවස්ථාවක් දීමට තමා මනාප නමුත්, ප්‍රචණ්ඩ ක්‍රියා නොඉවසන බවයි, ජනාධිපතිනි දිල්මා රවුසෙෆ්, කියා සිටියේ.

පසුගිය බ්‍රහස්පතින්දා බ්‍රසීල විරෝධතා ව්‍යාපාරවලට දස ලක්ෂයකට අධික ජනතාවක් සහභාගී වූ අතර,ඊයේ සිකුරාදාත් විශාල පරිමානයේ විරෝධතා ව්‍යාපාර පෙරට යමින් තිබුණි.