මැන්ඩෙලා ගේ තත්ත්වය යහපත් - ජේකබ් සුමා

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ තත්ත්වය ඊයේ රාත්‍රී යහපත් අතට හැරී ඇතැයි දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සුමා ප්‍රකාශ කරයි.

නෙල්සන් මැන්ඩෙලා ගේ සුව දුක් විමසීමට ප්‍රිටෝරියා හි රෝහල කරා ගිය ජනාධිපති ජේකබ් සුමා පැවසුවේ මීට කලින් එහි ගිය අවස්ථාවේ දුටුවාට වඩා නෙල්සන් මැන්ඩෙලා හොඳ මට්ටමක පසුවන බවයි.

නෙල්සන් මැන්ඩෙලා ගේ සෞඛ්‍ය තත්වය තීරණාත්මක නමුත් ස්ථාවර අඩියක පසුවන බවටයි පැවසෙන්නේ.

නෙල්සන් මැන්ඩෙලා ගේ වැඩිමහල් දියණිය මැකාසිවේ මැන්ඩෙලා ඊයේ පැවසුවේ පවුලේ සාමාජිකයන් ඔහු ඇමතූ විට දෑස් හැරීමට උත්සාහ දරමින් ප්‍රතිචාර දැක්වීමට තැත් දරන බවයි.

වර්ණ භේද වාදයට එරෙහිව නැගී සිටි හිටපු දකුණු අප්‍රිකානු නායකයා පෙනහළු ආසාදනයකින් රෝගාතුරව දැන් සති දෙකකට වැඩි කාලයක් රෝහල් ගතව සිටී.

ජාත්‍යන්තර ජන මාධ්‍ය රෝහලට පැමිණ ඇස ගසා සිටින ආකාරය දැඩි විවේචනයට ලක්‌ කළ දියණිය මැකාසිවේ මැන්ඩෙලා, ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ පෞද්ගලිකත්වයට හානි නොකරන ලෙසටත් ආත්ම අභිමානයට ගරු කරන ලෙසටත් ඉල්ලා සිටියාය.