ඇෆ්ඝනිස්තානයට දේශපාලනමය මෙන්ම ආරක්‍ෂිත විසඳුමක් - කැමරන්

ඇෆ්ඝනිස්තාන් අර්බුදය සඳහා දේශපාලනමය මෙන්ම ආරක්‍ෂිත විසඳුමක් කරා යාම තම උවමනාව යයි බ්‍රිතාන්‍ය අගමැති,ඩේවිඩ් කැමරන් පවසයි.

ඇෆ්ඝනිස්තානයේ සිදුකළ සංචාරයක් අතරවාරයේ අගමැතිවරයා, ඉහත අදහස පළකළේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේදී බ්‍රිතාන්‍ය සෙබළුන් මුණ ගැසෙමින්.

තාලිබාන් ව්‍යාපාරය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් බැහැරවන්නේ නම්, ඔවුන් ද ඕනෑම මට්ටමක සාම ව්‍යාපෘතියක කොටස්කරුවන් කර ගනු ලැබීම ඉතා වැදගත් වන බවයි අගමැති කැමරන් වැඩිදුරටත් සඳහන් කළේ

2002 වසරේදී තාලිබාන් පාලනය පෙරලා දමනු ලැබූ වහාම බටහිර බලවතුන් ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුව තිබිනැයි ඇෆ්ඝන් භුමියේ බ්‍රිතාන්‍ය හමුදාවේ ඉතා ඉහලම යුද නිලධාරී ජනරාල් නික් කාටර් (Nick Carter) ප්‍රකාශ කිරීමෙන් පැය කීපයකට පසුවයි අගමැති කැමරන් ඉහත කී මතය පළ කළේ .

'ද ගාඩියන්' බ්‍රිතාන්‍ය පුවත්පතට ප්‍රකාශයක් කරන ජනරාල් නික් කාටර් (Nick Carter), තාලිබාන් ශක්තිය හමුවේ කාබුල් පාලනයට තවත් අවුරුදු ගණනාවකට සමස්ථ ඇෆ්ඝන් භූමිය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට නොහැකි වනු ඇතැයි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.