දියවැඩියාවෙන් බේරීමට ආසියානුවෝ 'වැඩියෙන් ව්‍යායාම කළ යුතුයි'

Diabetes
Image caption දකුණු ආසියානුවන් සඳහාම විශේෂිත වූ අභ්‍යාස ක්‍රමයන් ද හඳුන්වා දීමට සිදුවිය හැකි බව පර්යේෂකයෝ පවසති

දියවැඩියා රෝගය වැළඳීමේ අවදානමෙන් බේරීම පිණිස යුරෝපා වාසීන්ට වඩා දකුණු ආසියානුවන් හැකි තරම් ව්‍යායාම කළ යුතු බව විද්‍යාඥයන් පිරිසක් පවසති.

විශේෂයෙන්ම දකුණු ආසියානු පුරුෂයන් අනිවාර්යයෙන්ම සම වයසේ සහ සම බර කාණ්ඩයේ යුරෝපීයයන්ට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතු බව ඒ පිළිබඳව කෙරුණු විශේෂ අධ්‍යයනයක නිගමණය වී තිබේ.

විශේෂයෙන්ම දකුණු ආසියානු වාසී වැඩිහිටි පුරුෂයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පහල මට්ටමක පැවතීම දියවැඩියාව වැළඳීමට ප්‍රධාන හේතුවක් බව එම අධ්‍යයනය සිදු කළ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස පෙන්වා දෙති.

පරම්පරාවෙන් උරුම වීම

මහාචාර්ය නවීඩ් සතාර් එම පර්යේෂණ වාර්තාවේ කර්තෘවරයෙක්.

"අපි හිතන්නේ මේක දකුණු ආසියානුවන්ට පරම්පරාවෙන්ම උරුම වෙන දෙයක්. යුරෝපීය සහ දකුණු ආසියානුවෝ සංසන්දනය කළාම එකම බර කාණ්ඩයේ දකුණු ආසියානුවන්ගේ මේද ප්‍රමාණය වැඩියි. ඒ වගේම මේකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ගේ ශරීරයේ හයි හත්තිය තියෙන්නේ පහල මට්ටමක," බව මහාචාර්යවරයා පැවසීය.

"මම හිතන්නේ තමන්ගේ පුරුදුත් මේකට එක හේතුවක් නමුත් මේ අධ්‍යයනයෙන් හෙළි වුනු ප්‍රධානම දේ තමයි අපි කැමති වුනත් නැතත් දකුණු ආසියානුවෝ අනෙක් අයට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතුයි කියන එක," යනුවෙන් ද මහාචාර්ය නවීඩ් සතාර් බීබීසී යට පැවසීය.

එබැවින් දකුණු ආසියානුවන් සඳහාම විශේෂිත වූ අභ්‍යාස ක්‍රමයන් ද හඳුන්වා දීමට සිදුවිය හැකි බව පර්යේෂකයෝ පවසති.