ඊජිප්තු ජනතාව යළිත් වීදි බසිති

ඊජිප්තුවේ ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ වීමත් සමඟම ජනාධිපතිවරයාට සහයෝගය දක්වමින් ඔහුගේ ආධාර කරුවෝ ද වීදි බැස සිටිති.

මෙම උද්ඝෝෂණ සහ ජනතා රැළි ආරම්භ වූයේ ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්සි ගේ පදවි ප්‍රාප්තියට වසරක් සපිරෙද්දී යි.

ඉස්ලාමීය ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බවට බල කරමින් කයිරෝ නුවර ටහ්රීර් චතුරශ්‍රයට රැස්වී සිටින්නෝ සටන් පාඨ කියමින් සිටිති.

උද්ඝෝෂකයින් කියා සිටින්නේ ජනාධිපතිවරයා රටේ බහුතරයගේ කැමැත්ත නොසලකා, මුස්ලිම් සහෝදරත්වයේ අවශ්‍යතා ඉටු කරමින් සිටින බවයි.

යළිත් මැතිවරණයක් පවත් වන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමකට, කෝටි දෙකකට අධික පිරිසක් අත්සන් තබා ඇති බවයි විරෝධතා සංවිධායකයන් කියා සිටින්නේ.

බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත් පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති මොර්සි උද්ඝෝෂකයන් ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.