ඇමෙරිකානු ගිනි නිවන හමුදා භටයන් දහනව දෙනෙක් ගින්නට

arizona,firefighters
Image caption දැනට පවතින වියලි කාලගුණය සහ සුළඟ නිසා ගින්න වේගයෙන් පැතිර යමිනුයි පවතින්නේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිෂෝනා ප්‍රාන්තයේ වන ගිනි මැඩලීමෙහි නිරත වෙමින් සිටි මුල්පෙළේ ගිනිනිවන හමුදා භටයන් දහනව දෙනකු මරණයට පත් වූ බව නිවේදනය කෙරිණ.

එම ගිනි නිවන භටයන් දහනව දෙනා වනාන්තර ගිනි මැඩලීම සඳහා විශේෂයෙන්ම පුහුණු කරන ලද කණ්ඩායමක් බවත් ඇමෙරිකානු වාර්තාවන් මගින් පැවසෙයි.

ඔවුන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙන්නේ ඇරිෂෝනාහි 'යානෙල්'(Yarnell) නම් කුඩා නගරය ගින්නෙන් බේරා ගැනීමට උත්සාහ කරමින් සිටියදී.

එම ගින්න නිසා මේවනවිට නිවාස දෙසීයක්වත් දැවී ගොස් ඇති අතර,දෙසීයක් පමණ ගිනිනිවන හමුදාභටයන් වේගයෙන් පැතිර යමින් ඇති ගින්නෙන් නගරය බේරා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවත් වාර්තා වේ.

'යානෙල්' නගරවාසීන්ගෙන් බහුතරය පදිංචි ස්ථානවලින් ඉවත්කර ඇති බවයි, එම වාර්තාවන්හි දැක්වෙන්නේ.

'ඇරිෂෝනා' ඇතුළු ඇමෙරිකානු බටහිර ප්‍රාන්තවල මේ දිනවල පවතින්නේ වාර්තාගත් මට්ටමේ ඉතාම උණුසුම් කාලගුණයක්.

එහි වනගිනි ආරම්භ වුනේ පසුගිය සිකුරාදා. දැනට පවතින වියලි කාලගුණය සහ සුළඟ නිසා ගින්න වේගයෙන් පැතිර යමිනුයි පවතින්නේ.