'නො ෆයර් සෝන්' (No Fire Zone) චිත්‍රපටයට මැලේසියාවේ දී බාධා

ශ්‍රී ලංකාවේ පැවතී යුද්ධයේ අවසන් අදියර අලළා නිපදවා ඇති, 'නො ෆයර් සෝන්' (No Fire Zone) වාර්තාමය චිත්‍රපටය ඊයේ මැලේසියාවේ ප්‍රදර්ශනය කළ අවස්ථාවාදී එරට ආරක්ෂක අංශ විසින් එය සංවිධාන කළ තිදෙනකු අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කොට තිබේ.

මතභේදයට තුඩු දී ඇති මෙම චිත්‍රපටය ක්වාලාම්පූර්හි ප්‍රදර්ශනය කිරීම නවතා දැමීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් සමග පැමිණි පොලිස් නිලධාරීන් විසි දෙනකු උත්සාහ කර ඇති බව මැලේසියාවේ පී කේ ආර් නමින් හැඳින්වෙන ජනතා සාධාරණත්වය සඳහා වූ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසයියා සිවරාසා බීබීසී දෙමළ සේවය හා පැවසුවේය.

පසුව එය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව එහි සිටි ජනතාවගෙන් ප්‍රශ්න කොට සංවිධායකයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු පොලිස් ඇප මත නිදහස් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙය ඉමහත් පුදුමයට කරුණක් බව පැවසු සිවරාසා මන්ත්‍රී වරයා මැලේසියානු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට ඊට පෙර දින එම චිත්‍රපටය අඩ වශයෙන් දැක ගැනීමට හැකිවූ බව සඳහන් කළේය.

අඟහරුවාදා එය පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරන විට තමාද එහි සිටි බවත් එය නැරඹීමෙන් පසු චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා සමඟ සාකච්ඡාවක් පවා පැවති නමුත් ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් සිදු නොවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඊයේ සිදු වූ සිද්ධියට හේතුව පැහැදිලිව ශ්‍රී ලංකා රජය විසින් මැලේසියානු රජයට කරන ලද බලපෑමක ප්‍රතිඵලය බව පැවසූ මැලේසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රාසයියා සිවරාසා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද ප්‍රදර්ශන ශාලාවට ගොස් චිත්‍රපටය පෙන්වීම නතර කරන ලෙසට බලපෑම් කොට ඇතැයි පැවසුවේය.

මෙය ලැජ්ජාවට කාරණයක් බව පැවසූ මන්ත්‍රීවරයා මෙයින් අදහස් කරන්නේ මැලේසියානු රජය විසින් මැලේසියානු ජනතාවට විශේෂයෙන් එරට දෙමළ ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමක් යයි කියා සිටියේය.

රාජපක්ෂ රජය විසින් සිදු කොට ඇතැයි පැවසෙන යුද අපරාධ සහ මිනිස් ඝාතන පිළිබඳව දැන ගැනීමේ අයිතිය අහිමි කිරීමක් ලෙසට හඳුන්වා දුන් සිවරාසා මන්ත්‍රී වරයා මැලේසියාව ශ්‍රී ලංකා රජයේ බලපෑම් වලට යටත් වීම පිළිගත නොහැකි යැයි සඳහන් කළේය.