කාශ්මීරයෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ පළමු ක්‍රීඩකයා

ව්‍යාකූල තත්වයක් පවතින ඉන්දීය කාශ්මීරයෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ පළමු ක්‍රීඩකයා හැටියට පර්වේෂ් රසූල් (Parvez Rasool) ක්‍රිකට් ඉතිහාසයට එක් වෙයි .

විසිහතර වැනි වියේ පසුවෙන මුස්ලිම් ජාතිකයකු වන පර්වේෂ් රසූල් , ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මී ළඟ සිම්බාබ්වේ සංචාරයට එක්වීමට නියමිතයි.

මෙයින් අවුරුදු හතරකට පෙර බැංගලෝර් නගරයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අසල එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් පර්වේෂ් රසූල්ගෙන් ඉන්දීය පොලිසිය ප්‍රශ්න කළත් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකෙරින.

තමාට අවශ්‍ය කරන්නේ තමා ක්‍රිකට් ක්‍රීඩකයකු මිස ත්‍රස්තවාදියකු නොවන බව පෙන්නුම් කිරීම යයි පර්වේෂ් රසූල් කියා සිටී.

පර්වේෂ් රසූල් ඉන්දීය ජාතික ක්‍රිකට් පිලට තෝරා ගනු ලැබීම මගින් කාශ්මීරයේ තරුණයන්ට ඔවුන්ගේ රට නියෝජනය කිරීමේ අවස්තාවක් තිබේය යන පණිවුඩය දෙන බවයි ඔහුගේ ක්‍රීඩාලෝලීන් පවසන්නේ.