බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයට විශේෂ ආරක්ෂාවක්

Attack on Bodhgaya

බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව විහාරයට විශේෂ ආරක්ෂාවක් සපයා දෙන බවට ඉන්දීය බලධාරීන් ප්‍රතිඥා දුන් බව විහාරාධිපති හිමියෝ පවසති.

ඉන්දියානු මහාබෝධි සමාගමට අනුබද්ධ බුද්ධගයා මධ්‍යස්ථානයේ අධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ ඒ බව සඳහන් කළේ, ප්‍රාදේශීය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

විවිධ බෞද්ධ රටවල් නියෝජනය කරමින් බුද්ධගයාව අවට විහාරස්ථාන 52 ක් පමණ තිබෙන බව පවසන එහිමියෝ, මහා විහාරයේ පමණක් නොව ජපන් සහ ටිබෙට් විහාරස්ථානවල ද ඉරිදා හිමිදිරියේ බෝම්බ පුපුරා ගිය බව ද සඳහන් කළහ.

කිසියම් පිරිසක් මහාබෝධි විහාරස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බවට මීට කලින් අනතුරු ඇඟවීම් කර තිබුන බව සංදේශයට කියා සිටි හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් අවධාරණය කරන්නේ ප්‍රහාරයෙන් අනතුරුව විහාරයේ ආරක්ෂාව තහවුරු කොට තිබෙන බැවින් විහාරස්ථානය වැඳ පුදා ගැනීම පිණිස බැතිමතුන්ට කිසිදු බාධාවක් නොමැති බවයි.

නගරවල ආරක්ෂාව තර කෙරේ

ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ විහාරස්ථානය අමතා කරුණු විමසා බැලූ බව පවසන විහාරාධිපති හිමියෝ, එහි ආරක්ෂාව තහවුරු කරන බවට ඉන්දීය ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ද සහතික කොට තිබෙන බවත් සඳහන් කළහ.

Image caption විහාරයේ අධ්‍යාපනය ලබමින් සිටි බුරුම ජාතික ඌ පින්යා සකා හිමියෝ ද ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සිටිති

විහාරස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඉන්දියාව පුරා ප්‍රධාන නගර අටක පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට ද ඉන්දීය බලධාරීහු පියවර ගනිමින් සිටිති.

දිල්ලි අගනුවර, මුම්බායි, කල්කටාව, අහ්මදාබාද්, චෙන්නායි, බැන්ගලෝර්, හයිද්‍රාබාද්, සහ පූනේ නගරවල බලධාරීන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, එම නගරවල බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා මෙන් නියෝග කොට තිබේ.

විශේෂයෙන්ම රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ බෞද්ධයන් අතර මියන්මාරයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ ප්‍රධාන නගර අටක බෞද්ධ සිද්ධස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමේ අවශ්‍යතාවය ඉන්දීය බලධාරීහු අවධාරණය කරති.

විහාරයේ අධ්‍යාපනය ලබමින් සිටි බුරුම ජාතික ඌ පින්යා සකා හිමියෝ ද ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර