බුද්ධගයා ප්‍රහාරයේ සැකකරුවකු අත්අඩංගුවේ

බුද්ධ ගයාවේ එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය ප්‍රකාශයට පත් කොට ඇත.

ප්‍රහාරය පිළිබඳව තොරතුරු සොයන පරීක්ෂකයන්, බුද්ධ ගයා විහාරයේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති දර්ශන පිරික්සමින් සිටින අතර,විහාර භූමියේ පුපුරන ද්‍රව්‍ය අටවමින් සිටින ආකාරයක් දැක්වෙන දෙදෙනකු එම වීඩියෝ පටවල සටහන් වී ඇති බවයි, ප්‍රකාශයට පත් කෙරුනේ.

බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුද්ධ ගයාවේ ඊයේ ඉරිදා එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයෙන් දෙදෙනකුට තුවාල සිදු වුණි.

තත්වය සාමාන්‍ය අතට

බුද්ධ ගයාවේ මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ එහි පවතින අලුත්ම තත්වය බීබීසියට සංදේශයට විස්තර කරමින් කියා සිටියේ, දැන් තත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින අතර විහාරවාසී භික්ෂූන් වහන්සේ පූජාවක් ද පැවත්වූ බවයි.

බිහාරයේ මහඇමති, නිතිෂ් කුමාර්, ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් බෝම්බ ප්‍රහාරය පිළිබඳව කෙරෙන පරීක්ෂණ සඳහා ඉන්දීය මාධ්‍ය ආණ්ඩුවෙන් උදව් ඉල්ලා සිටි බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාගෙන් තත්වය විමසූ බව සඳහන් කළ මහ ඇමති නිතිෂ් කුමාර්, තත්වය පැහැදිලි කිරීමට පියවර ගත බවයි වැඩිදුරටත් කියා සිටියේ.

බුද්ධ ගයා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් විසින් භාර ගනු ලැබ නැහැ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර