මුස්ලිම් සහෝදරත්වයේ නායකයාට වරෙන්තු

Image caption ප්‍රචණ්ඩත්වය අවුළුවාලීමේ චෝදනා යටතේ මුස්ලිම් සහෝදරත්වයේ නායක මොහොමඩ් බදී ඇතුළු තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුටම වරෙන්තු

මුස්ලිම් සහෝදරත්වයේ නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ඊජිප්තු නීතිපතිවරයා වරෙන්තු නිකුත් කළේය.

මෙම වරෙන්තු නිකුත් කර ඇත්තේ පසු ගිය සඳුදා කයිරෝ නුවර හමුදා බැරැක්කයක් අසල ඇතිවූ ගැටුම සම්බන්ධව, ප්‍රචණ්ඩත්වය අවුළුවාලීමේ චෝදනා යටතේ.

වීදි බට පිරිසක් ආරක්ෂක හමුදා සමග ඇති කර ගත් ඉහත කී ගැටුම කෙළවර වූයේ පනස් දෙනෙකු පමණ මරණයට පත් කරමින්.

මිය ගිය අයගෙන් වැඩි පිරිස මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් වන අතර ආරක්ෂක හමුදා කියා සිටියේ තම අත්මාරක්‍ෂාව උදෙසා කටයුතු කළ බවයි.

නමුත් ආරක්ෂක හමුදා ජනසංහාරයක යෙදුණු බවට මුස්ලිම් සහෝදරත්වය චෝදනා කර සිටියේය.

ජනතාව නිහඬ කිරීමේ අරමුණින් යම් යම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරමින් සිටින බවයි මුස්ලිම් සහෝදරත්වයට සහයෝගය දෙන ආචාරිනී සහාර් නබිල් බීබීසියට කියා සිටියේ.

මෙම ගැටුම ඇති කිරීම සඳහා උල්පන්දම් දුන් බවට චෝදනා නගමින් මුස්ලිම් සහෝදරත්වයේ නායක මොහොමඩ් බදී ඇතුළු තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුටම වරෙන්තු නිකුත් කර තිබේ.