විදේශවලට මුදල් යවන ගිණුම් වැසීම 'දුප්පතුන්ට පාඩුවක්'

විදේශවලට මුදල් යැවීම
Image caption ශ්‍රී ලාංකිකයන් ඇතුළු බොහෝ විදේශිකයෝ සුළු පරිමාණ මූල්‍ය ආයතනවල සේවය පතති

විදේශ රටවලට මුදල් යවන කුඩා පරිමාණයේ මූල්‍ය ආයතන වල ගිණුම් වසා දැමීමට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන බැංකු දෙකක් තීරණය කිරීම මගින් සුළු පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම ගණුදෙනුකරුවන්ද බරපතල අසීරු තත්වයකට මුහුණ පා සිටින බව ව්‍යාපාරිකයෝ පවසති.

මාස දෙකකට පසු සිය මූල්‍ය ව්‍යාපාරයේ ගිණුම වසා දැමන බවට හොන්කොන් සහ ශැන්හායි (HSBC) සහ බාර්ක්ලේස් (Barclays) බැංකු දැනුම් දී ඇති බව බ්‍රිතාන්‍යයේ සුළු පරිමාණ මූල්‍ය ව්‍යාපාරික රවි රවීන්ද්‍රන් බීබීසී සංදේශයට කියා සිටියේය.

"මාස දෙකකින් මේ ගොල්ල ඒ ගිණුම් වහල දානවා. ඊට පස්සේ වෙස්ටන් යූනියන්, මනි ග්‍රෑම් වගේ ලොකු කොම්පැනි වලට හරි බැංකුවට හරි යන්න ඕනේ සල්ලි අරින්න. එතකොට ඒගොල්ලන්ට පාඩු වෙනවා දෙවිදියකට. එකක් තමයි ගාස්තු වැඩියි, අනික ඒගොල්ලන්ට හම්බවෙන ප්‍රතිශතයත් හරිම අඩුයි," ඔහු පැවසීය.

'දෙවිදියකට පාඩුයි'

ශ්‍රී ලාංකිකයන් ඇතුළු බ්‍රිතාන්‍යවාසී විදේශිකයෝ බොහෝ විට තම මව් රටවලට මුදල් යැවීමේදී යොදා ගනු ලබන්නේ සුළු පරිමාණයේ මූල්‍ය ආයතනයි.

බොහෝ සුප්‍රසිද්ධ බැංකු ඇමෙරිකා එක්සත් ජනපදයේදී සිදු කරන ලද මූල්‍ය ජාවාරම් කටයුතු හේතුවෙන් එම බැංකුවලට විශාල දඩ මුදල් ගෙවීමට සිදුවීම හමුවේ නැවත එවැනි තත්වයක් ඇති නොවීමට බ්‍රිතාන්‍ය වැනි රටවල එම බැංකු සමග ගනුදෙනු කරන සුළු පරිමාණ මුල්‍ය ආයතන ගිණුම් වසා දැමීමට තීරණය කර ඇති බව රවි රවීන්ද්‍රන් සංදේශයට පැවසීය.

සුළු පරිමාණ ව්‍යාපාරිකයින් තමන්ගේ ගිණුම් නීත්‍යානුකූලව, ක්‍රමානුකුලව හා විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් පරිහරණය කරන නමුත්, විශාල බැංකු වල තීරණ හමුවේ අසරණ වී සිටින බවයි, ඔහු පවසන්නේ.