ඩුබායි: බර අඩු කරගත්තොත් රනින් තෑගි

Gold in Dubai
Image caption අඩු කරගන්නා සෑම කිලෝග්‍රෑමයකටම ඩොලර් හතලිස් පහක් වටිනා රත්‍රන් ග්‍රෑම් එකක් හිමි වේ

සීග්‍ර ලෙස ඉහල යමින් පවතින තරබාරුකම අඩුකර ගැනීමේ අරමුණෙන්, ව්‍යායාමවල යෙදී අඩු කර ගන්නා සෑම කිලෝ ග්‍රෑමයකටම රත්‍රන් ග්‍රෑමයක් ලබා දෙන විශේෂ වැඩසටහනක් ඩුබායි බලධාරීහු ආරම්භ කළහ.

මේදය අධික කෑම බහුල වශයෙන් අනුභව කිරීමත්, ව්‍යායාම වල යෙදීම අඩු වීමත් නිසා සමාජය මුහුණ දෙන ගැටළු අඩු කර ගැනීමේ අරමුණෙන් මේ පියවර ගත් බව ඩුබායි ආණ්ඩුව පවසයි.

ඒ අනුව අඩු කරගන්නා සෑම කිලෝග්‍රෑමයකටම ඩොලර් හතලිස් පහක් වටිනා රත්‍රන් ග්‍රෑම් එකක් ලබා ගැනීමට ඩුබායිවාසීන්ට අවස්ථාව හිමි වේ.

වැඩි ප්‍රමාණයකින් තම සිරුරේ බර අඩු කරගන්නා තිදෙනා ඩොලර් පන් දහස් හාරසියයක් වටිනා රත්‍රන් කාසියක් දිනාගැනීමට ද මේ වැඩසටහනේදී සුදුසුකම් ලබති.

සැපපහසු ජිවිත

කෙසේ නමුත් එය හිමිවන්නේ ඉදිරි දින තිහ ඇතුලත අවම වශයෙන් කිලෝග්‍රෑම් දෙකක්වත් අඩු කර ගැනීමට සමත් වන අයට පමණයි.

මෝස්‌තර මාධ්‍ය වේදිනියක් වන ලුවිස් ෆොස්ටර් පවසන්නේ තරබාරුකමට කාලගුණික හා සංස්කෘතික තත්වයන් මෙන්ම සමාජ පුරුදුද බලපාන බවයි.

"මෙහෙ ඉන්ධන ලාබයි. වාහන ලාබයි. කිසිම කෙනෙක් ඇවිදින්න මහන්සි වෙන්නේ නැහැ. සැපපහසු ජිවිත ගත කරන වැඩිදෙනා ව්‍යායාම කිරීම මුලික කොට සලකන්නේ නැහැ," යනුවෙන් ඇය පැවසුවේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින්.

රාමසාන් මාසය මේ වැඩපිළිවෙල හඳුන්වා දීම පිණිස වඩාත්ම සුදුසුම කාලය බවයි, වැඩ සටහන හදුන්වා දුන් ඩුබායි නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හුසේන් නසාර් ලුටා පවසන්නේ.

"සිරුරේ බරට රත්‍රන්" වැඩසටහනට ලියා පදිංචි වෙන්නන්ට අහාර පාලනය ගැන විශේෂඥ උපදෙස් ලබා දෙන අතර, සිරුරේ බර අඩු කර ගැනීම සඳහා සෞඛ්‍යයට අහිතකර වන ක්‍රම වේද පාවිච්චි නොකරන ලෙසට තරයේ අවවාද කෙරේ.