නාවුරු කඳවුරේ කැරැල්ල මෙහෙයවූ පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෝ

Image caption නාවුරු සරණාගත කඳවුර

ශාන්තිකර සාගරයේ නාවුරු සරණාගත කඳවුරේ කැරැල්ල මෙහෙයවූ පුද්ගලයන් අතර, ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතන ශ්‍රී ලාංකිකයන්ද සිටින බව වාර්තාවල දැක්වේ.

ඕස්ට්‍රේලියාව ප්‍රකාශයට පත් කොට ඇති නව සංක්‍රමණික රෙගුලාසිවලට එරෙහිව නාවුරු දූපතේ පවත්වා ගෙන යන සරණාගත කඳවුරේ වාර්තා වූ දරුණු කැරලි ගැසීම්වලින් අනතුරුව මේ වන විට තත්වය සංසුන් අතට හැරී ඇති බව වාර්තා වෙයි.

සංක්‍රමණික කටයුතු භාර ඕස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයකින් පැවසෙන්නේ, සිකුරාදා කැරලි ගැසීම්වලට රැඳවියන් 150 ක් පමණ හවුල් වී ඇති බවයි.

ඔවුන්ගෙන් හතර දෙනෙකු රෝහල්ගත කොට ඇති බවත් වාර්තා කොට තිබේ.

උද්ඝෝෂණ

ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතන්නට සහයෝගය දෙන කණ්ඩායම් මේ අතර මෙල්බර්න් නගරයේ රැස්ව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගිය බවක්ද වාර්තා කෙරිණ.

නාවුරු කඳවුරේ කැරලි ගැසූ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන බවයි සංක්‍රමණික කටයුතු භාර ඕස්ට්‍රේලියානු ඇමති ,ටෝනි බර්ක් කියා සිටින්නේ.

නව රෙගුලාසි

බෝට්ටු මගින් එන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව රෙගුලාසි මාලාවක් නිවේදනය කරනු ලැබීමෙන් දවසකට පසුව ඕස්ට්‍රේලියානු නාවික හමුදාව ක්‍රිස්මස් දූපත අසල මුහුදේ දී එවැනි සරණාගතයන් කණ්ඩායමක් සහිත බෝට්ටුවක් අල්ලා ගත් බවක් ද නිවේදනය කොට ඇත.

ඕස්ට්‍රේලියාව අනුගමනය කරන නව රෙගුලාසි යටතේ එවැනි සරණාගතයන් පැපුවා නිව්ගිනියාවට යවනු ලැබීම ඔවුන්ගේ සැලැස්මයි.

අගමැති කෙවින් රඩ් ඊයේ සිකුරාදා ප්‍රකාශ කළේ,බෝට්ටු මගින් එන සරණාගතයන්ට තම භූමියේ පැලපදියම් වීමට අවස්ථාව නො දෙන බවයි.