ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය 'ප්‍රමිතියෙන් බාලයි'

UNHCR
Image caption 'දේශපාලන රැකවරණ පතන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් නොමැති' බව එ. ජාතීන් පවසයි

දේශපාලන රැකවරණ පතන්නන් පිළිබඳ ඕස්ට්‍රේලියාවේ නව ප්‍රතිපත්තිය මගින් ඔවුන්ට ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන් නොසලකා හරිනු ලැබ තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

පසුගියදා නිවේදනය කෙරුණු ඕස්ට්‍රේලියාවේ නව ප්‍රතිපත්තියට අනුව, බෝට්ටුවලින් පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන්ගේ ඉල්ලුම්පත්‍ර සලකා බලනු ලබන්නේ පැපුවා නිව් ගිනියාවේදී.

කෙසේ නමුත්, එම ඉල්ලුම්පත් සලකා බැලීමෙහිලා පැපුවා නිව් ගිනියාවේ අධිකරණ පද්ධතියේ "බරපතල අඩු ලුහුඬුකම්" පවතින බවයි, අනාථයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ.

'ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් නෑ'

මේ සම්බන්ධයෙන් පැපුවා නිව් ගිනියාවේ ආණ්ඩුව සමඟ ඕස්ට්‍රේලියාව අත්සන් තැබූ ගිවිසුම දේශපාලන රැකවරණ පතන්නගේ ආරක්ෂාව සම්බන්ධයෙන් "බරපතල ගැටළු" මතු කරන අතර, ඒ සම්බන්ධයෙන් බලධාරීන් ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් පළ වී නොමැති බව ද මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

"පැපුවා නිව් ගිනියාවේදී දේශපාලන රැකවරණ පතන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් නොමැතිවීම," පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය බරපතල කනස්සල්ල පළ කොට තිබේ.

විශේෂයෙන්ම දේශපාලන රැකවරණ පතන්නන්ගේ ඉල්ලුම්පත්‍ර සලකා බැලීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම පැපුවා නිව් ගිනියාව සතුව නොමැති බව පවසන එක්සත් ජාතීන්, එහි රැඳවුම් කඳවුරුවල පවතින පහසුකම් ද විවේචනයට ලක් කොට තිබේ.

දේශපාලන රැකවරණ පතන්නන් සම්බන්ධ නව ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරිපත් විය හැකි අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම එය පවත්වාගෙන යාමේ අභියෝගවලට ද මුහුණදීමට ඕස්ට්‍රේලියාවට සිදු වනු ඇති බවත් නිවේදනයේ සඳහන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර