බෙංගාල කොටියා රැක ගැනීමේ තවත් පියවරක්

Image caption සංවර්ධන ව්‍යාපාර නිසා කොටින්ට වනාන්තරයෙන් වනාන්තරයට නිදහසේ සැරිසැරීමේ අවස්ථාව අහිමි වී ඇත.

දෙදාස් නවය වසරේ පටන් බලන විට රටේ වනගත කොටින්ගේ සංඛ්‍යාව 63%කින් වැඩි වී ඇති බව නේපාල ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

සමීක්ෂණය සිදු කර තිබෙන්නේ මේ වසරේ පෙබරවාරි සහ ජුනි මාසය අතර කාලයේ.

බෙංගාල කොටිගහනය උතුරු ඉන්දියාවේ සහ දකුණු නේපාලයේ සැතපුම් හයසීයක් තරම් දුර වපසරියක සැරිසරන්නේ යයි නේපාල ආණ්ඩුවේ වාර්තාව මගින් ඇස්තමේන්තු කොට ඇත.

කොටිගහනය වඳ වීමේ අන්තරායකට මුහුණ දී ඇතත්, නේපාල වනෝද්‍යානවල බෙංගාල කොටින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් ඇති බවත් එම වාර්තාව පවසයි.

දකුණු ආසියානු රටවල ආණ්ඩු කියා සිටින්නේ,2022 වන විට කොටිගහනය දෙගුණයකින් වැඩි කර ගැනීමට කැපවෙන බවයි.

එහෙත් දඩයම් කරුවන්ට ගොදුරු වීම සහ සිය සාම්ප්‍රදායික වාසභූමි අහිමි කිරීම කොටින් මුහුණ දෙන බලවත්ම ප්‍රශ්නයයි.

ඉන්දියාව

ඉන්දියාවේ කොටිගහනයත් මුහුණ දී සිටින්නේ දුෂ්කර තත්වයකට.

ඉන්දියානු කොටිගහනය වඳ වීමේ අන්තරායකට මුහුණ දී සිටින බව පවසන බැංගලෝර් නගරයේ ජාතික ජෛව විද්‍යා මධ්‍යස්ථානයේ උමා රාම ක්‍රිෂ්ණන් පෙන්වා දෙන්නේ,ඉන්දියාවේ යෝධ සංවර්ධනය හමුවේ කොටින්ට ප්‍රදේශයෙන් ප්‍රදේශයට යාමට නොහැකි අතර, එය ඔවුන්ගේ අභිජනනයට බාධාවක් ව ඇති බවයි.