කොන්ගෝවට එරෙහිව රුවන්ඩා ජාතිකයින්

rwanda army

කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර සටන් වැද සිටින M 23 කැරලිකරුවන් වෙනුවෙන් සටනෙහි යෙදවීම සඳහා තම රටේ හමුදාව විසින්ම තමන් බලහත්කාරයෙන් බඳවා ගන්නා ලදැයි රුවන්ඩා ජාතිකයන් හතර දෙනෙක් බීබීසියට ප්‍රකාශ කළහ.

එහෙත් තමන් සටන් බිමෙන් පළා ගොස් උගන්ඩාවේ රැකවරණ පැතූ බවයි,එම රුවන්ඩා ජාතිකයන් පවසන්නේ.

එයින් එක් අයෙක් පවසන්නේ, M 23 ප්‍රහාරකයන්ගෙන් සියයට අනුවක්ම රුවන්ඩා සොල්දාදුවන් වන බවයි.

තවත් වෛද්‍ය ශිෂ්‍යයෙක් අදහස් දක්වමින්,සටනේදී තුවාල ලද තුන්සීයකට අධික රුවන්ඩා ජාතික ප්‍රහාරකයන්ට තමා ප්‍රතිකාර කළ බව කියා සිටියේය.

එහෙත් රුවන්ඩා ආන්ඩුව දිගටම කියා සිටින්නේ,තමන් M 23 කැරලිකරුවන්ට කිසිදු සහයෝගයක් නොදෙන බවයි.

රුවන්ඩා ආණ්ඩුවේ යුද හමුදා ප්‍රකාශකයා අදහස් දක්වමින්,ඉහත කී රුවන්ඩා ජාතිකයන් දේශපාලන රැකවරණ ලබා ගැනීමට කතන්දර ගොතන බවයි සඳහන් කළේ.