ඔස්ට්‍රේලියාව සංක්‍රමණ විරෝධී නීතියේ මුල් පියවර තබයි

පැපුවා නිව් ගිනීයාවට හතලිස් දෙනකුගෙන් යුත් මුල්ම කණ්ඩායම ගුවන් මගින් යවමින් ඔස්ට්‍රේලියාව අලුතින් සම්මත කරගත් දැඩි සංක්‍රමණ විරෝධී නව ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීම ආරම්භ කැරුණි.

බහුතරයක් ඉරාන සහ ඇෆ්ගනිස්තාන පිරිමින්ගෙන් සැදුම් ලත් එම කණ්ඩායම යවන ලද්දේ ඕස්ට්‍රේලියානු බල ප්‍රදේශයට අයත් ක්‍රිස්මස් දූපතේ සිට.

දෙ සතියකට ඉහතදී සම්මත කරගන්නා ලද නීතිවල අරමුණ රැකවල් පතා එන්නන් මහත් අන්තරායට මුහුණ පා මුහුදු මගින් ඔස්ට්‍රේලියාවට ඒම වලකා ලීම බව අගමැති කෙවින් රඩ් ප්‍රකාශ කළේය.

නීතියේ 'දුර්වලකම්'

‘බෝට්ටුවල නැගී ඔස්ට්‍රේලියාවේ සරණ පතා එන්නන්ට මීට පස්සේ ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලැබීමේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැති,' බවයි නව නීතිය හඳුන්වා දෙමින් අගමැතිවරයා කියා සිටියේ.

ඔස්ට්‍රේලියානු පිළිවෙත මානව හිමිකම් සංවිධාන වල දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරයා පවසා තිබුනේ දේශපාලන රැකවරණ සොයා එන අය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පැපුවා නිව් ගිනියාවේ නීති පද්ධතිය ‘බරපතල දුර්වලකම්‘ සහිත බවයි.