සංක්‍රමණිකයන් සියයකට අධික පිරිසක් බේරා ගැනෙති

ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා පැමිණෙන්නට ඇති යැයි සැක කෙරෙන සියයකට අධික පිරිසක් ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් බේරා ගෙන තිබේ.

බෝට්ටුවේ සිටි පස් දෙනෙකු පිළිබඳව තොරතුරු තවමත් ලැබී නැත.

ඕස්ට්‍රේලියානු රජය විසින් ක්‍රිස්මස් දුපතේ දේශපාලන රැකවරණ පතන්නන් රඳවා තබන රැඳවුම් මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර දෙසීයක් පමණ දුර මුහුදේ දී මෙම බෝට්ටුව සොයා ගන්නා ලදී.

මෙම සිදුවීම වාර්තා වන්නේ, කලාපයේ පුද්ගලයන් ප්‍රවාහනය නැවැත්වීමේ අරමුණෙන් ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ඕස්ට්‍රේලියානු ඇමති වරුන් දෙදෙනෙකුගේ ද සහභාගිත්වයෙන් සාකච්ඡාවක් තිබියදීයි.

මේ සාකච්ඡාවට ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු ශාන්තිකර කලාපීය රටවල් දහ හතරක ඇමතිවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද එක්සත් ජාතීන්ගේ ආයතනවල සහ ප්‍රධාන මානව හිමිකම් ආයතනවල නිලධාරීහු ද සහභාගි වූහ.

සාමුහික ප්‍රයත්නයක්

සාකච්ඡාව අවසානයේ දී අදහස් දැක්වූ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතු භාර අමාත්‍ය ටෝනි බර්ක් (Tony Burke) පැවසුවේ පුද්ගල ප්‍රවාහනය වැළැක්වීම පිණිස සාමුහික ප්‍රයත්නයක් දැරිය යුතු බවයි.

තම තමන්ගේ රටවල ප්‍රතිපත්ති තීරණ ගැන පණිවිඩ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි ඔහු කියා සිටියේ.

ජාවාරම් ජාල

ඉන්දුනීසියානු විදේශ ඇමති මාර්ටි නටලේගාවා (Marty Natalegawa) අදහස් දක්වමින්, විශේෂයෙන්ම පුද්ගල ප්‍රවාහන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සහ ජාවාරම් ජාල කෙරෙහි තම රජය අවධානය යොමු කොට ඇති බව පැවසුවේය.

එම ජාවාරම් ජාල වළක්වා ලීමට හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.