එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ සිරියානු භූමියේ

Image caption රසායනික අවි පාවිච්චි කොට ඇද්ද යන්න ගැන පිරික්සීම එක්සත් ජාතීන්ගේ අපේක්ෂාවයි.

නිරායුධකරණය භාර එක්සත් ජාතීන්ගේ නියෝජිත ඇන්ජෙලා කේන් ‘දමස්කස්’ නගරයට ලඟා වූ බව නිවේදනය කෙරිණ.

රසායනික අවි මගින් පහර දී ඇතැයි සැක කෙරෙන කලාපයෙහි පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සලසන මෙන් සිරියානු ආණ්ඩුවට බල කිරීමටයි, එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය එහි ලඟා වී සිටින්නේ.

එම ප්‍රහාර සම්බන්ධයෙන් සිරියානු ආණ්ඩුවට චෝදනා කෙරුණත් දමස්කස් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ අතර සිරියානු රාජ්‍ය රූපවාහිනිය කියා සිටියේ,කැරලිකරුවන් විසින් පාවිච්චි කරන ලද උමඟකින් අවි විස රසායන සාම්පල යුද හමුදා භටයන්ට ලැබී ඇති බවයි.

සිරියානු ආණ්ඩුව රසායන අවි පාවිච්චි කර ඇති බවට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් දැක්විය යුතු ප්‍රතිචාරය ගැන තීන්දු කිරීමට, ජනාධිපති බරක් ඔබාමා,ජාතික ආරක්ෂක උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා කෙරිණ.

ඉරානයේ විරෝධය

රසායන අවි යොදා ගනිමින් දමස්කස් නගරයෙහි එල්ල කෙරුණ ප්‍රහාරයෙන් මහජන ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ කිරීම සම්බන්ධයෙන් ඉරානය කනගාටුව පළ කොට ඇත.

ඉරානය සිරියානු ආණ්ඩුවට සහයෝගය පළ කරන මිතුරු රටකි.

ඉරාන් ජනාධිපති,හසන් රොහානි රසායනික අවි යොදා ගැනීම දැඩි ලෙස හෙළාදකිමින්, 1980 දශකයේ ඉරාන්-ඉරාක් යුද්ධයේදී තම රටත් එවැනිම තර්ජනයකට මුහුණ දුන් බවයි කියා සිටියේ.

සිරියානු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකට කෙලින් ම චෝදනා කර නැතත්, සිරියානු කැරලිකරුවන් රසායනික අවි පාවිච්චි කරන බවට ඉරානය මින් පෙර චෝදනා කර ඇත.